September 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කැරපොත්තෝ

1 min read

මේ වන විට නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයකම මහපාර අරක්ගෙන සිටින්නේ “කැරපොත්තෝ” ය. එක්සත් ජනපදයේ පාලනයට නතු සමාජ මාධ්‍යවල “ඇල්ගොරිතමය” සාදා දී ඇත්තේ ද “කැරපොත්තන්” ට ය.

රස්සාවක් නොකර, සමාජ මාධ්‍ය කරමින් එහෙ මෙහෙ රස්තියාදු ගහන තරුණයන්ව ඉන්දියාවේ අගවිනිසුරු හැඳින්වූයේ “කැරපොත්තන්” කියාය. “කැරපොත්තාට” තරම් ඉතා ඉහළ අනුවර්ථනය වීමේ හැකියාවක් කුමන සතෙකුටවත් ඇත්තේ නැත. ඕනෑම දරුණු නෂ්ඨික ප්‍රහාරකයින් පවා බේරී ජීවත්වීමේ හැකියාව “කැරපොත්තා” සතුව ඇත. කැරපොත්තා වඩා කැමැත්තේ අඳුරු, තෙතමනය සහිත උණුසුම් ස්ථානවල ජීවත්වීමට ය.

ඉන්දීය අගවිනිසුරුගේ කැරපොතු කතාව අල්ලාගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටිය ඉන්දීය තරුණයෙක් ය. හෙතෙම “කැරපොතු ජනතා පක්ෂය” නිර්මාණය කර, සමාජ මාධ්‍ය ඔස්සේ එය අතිශය ප්‍රචලිත කළේය. වෛද්‍යවරයකු වීම තීරණය කරන විභාගයක ප්‍රශ්න පත්තරය “ලීක්” වූණේ ඊට පසුව ය. ඒ ගැන කලකිරී එම විභාගයට පෙනී සිට අසමත් වූ තරුණ තරුණියෝ කිහිපදෙනෙකුම සියදිවිනසා ගත්හ. කැරපොත්තන් පාරට පැමිණියේ ඉන් පසුව ය.

“ආදරයේ අරගලය” වගේ ඇරඹි කැරපොතු අරගලය, මේ වන විට ඇත්තේ ප්‍රචණ්ඩ තත්ත්වයට පත්ව ය. දැන් එය ලංකාවේ පැවති ගාලුමුවදොර අරගලයට හිමිව තිබූ අංග ලක්ෂණ බොහොමයකින් සමන්විතය. මුලින් ඉල්ලුවේ විභාග ක්‍රමයේ දියුණු වෙනසක් ය. ඊළඟට ඉල්ලුවේ අධ්‍යාපන ඇමතිගේ ඉල්ලා අස්වීම ය. දැන් ඉල්ලන්නේ “අගමැති මෝඩි ඉල්ලා අස්විය” යුතු බව ය.

දැන් කැරපොත්තන් සහ පොලීසිය ගහගන්නේ ය. හමුදාවට ද කැරපොත්තන් අහුවුන විට නෙලන්නේ ය. සමහර ජනප්‍රිය කලාකරුවෝ ද කැරපොත්තන්ට දිරිය දෙන්නේ ලංකාවේ පරිදිම ය. මෙහෙ “යුනිෆෝම්” පිටින් අරගලයට සහාය දුන්නේ පොලිස් සාමාජිකයෙක් ය. ඉන්දියාවේ ඒ වෙනුවට කැරපොත්තන් සමඟ තම නිල ඇඳුම පිටින් එක්වූයේ හමුදා සාමාජිකයෙක් ය. කෑම රැගෙන ඉන්දියානු මුස්ලිම්, කිතුණු හා ශික් ජනයා එන්නේ පෝලිමේ ය. කෑම බීම ඇත්තේ උතුරන්නට ය.

ජනප්‍රිය පුවත්  ජාතික කුඩය ඉස්සීම

එතනද ආගමික සහජීවනය වැහි වැහැලා ය. තවම ඇවිත් නැත්තේ ඉන්දියාවේ නන්දා මාලනී සහ සුනිල් ආරියරත්න ය. ඒ වෙනුවට ආවේ ඉන්දියාවේ ජනාධරයට පත් ගායක අරිජිත් සිං ය. තමන් සිසුන් සමග හිට ගන්නා බවත් එයට අකමැති අය තම ගීත මතකයෙන් මකා දමන ලෙසත් ඔහු කීවේ පට්ට පදිරි වෙන්නය. මෙහේ සරත් ෆොන්සේකා වෙනුවට එහේ ඉන්නේ රාවුල් ගාන්ධි ය. මෙහේ නොතිබූ එහේ තිබෙන එකම දේ කැරපොත්තන්ගේ හදිසි මතුවීමේ නොපෙනෙන කරුණු සාධක සහිතව හෙළි කරන “යූ ටියුබර්ස්” ලා ය. ඔවුන් කියන්නේ මේ කැරපොතු අරගලය භාහිරව මෙහෙයවන්නේ ඇමරිකානු එක්සත් ජනපදය හෙවත් CIA බවය. ඒ සඳහා ඔවුහු ලිඛිත සාක්ෂි පවා පෙන්වන්නේ ය.

ඉන්දියාවේ මෝඩි පාලනය බිඳවට්ටන්න ඇමෙරිකා එක්සත් ජනපදයට උවමනා වන්නේ කුමක් නිසා ද ?ඉන්දියාව, ඇමරිකාව සමග “QUAD” නැමැති ඉන්දු ෆැසිපික් සාගර කලාපය රකින මිලිටේරි හවුලේ ද එකට සිටින්නේ ය. ඒ සමගම ඉන්දියාව “BRICS” නැමැති චීන – රුසියන් ආර්ථික හවුලේ ද ඉදිරියෙන්ම සිටින්නේ ය. සම්බාධක මැද රුසියාවෙන් තෙල් ගන්නේ ඇමරිකාව කුමක් හිතනු ඇත්දැයි ගණන් නොගෙනය. මොඩිගේ පාලන කාලය තුළ ඉන්දියාව ආර්ථික වශයෙන් ලොව තෙවැනි බලවතා බවට පත්විය. ඒ, මිලදීගැනීමේ බල සමානාත්මතාවය (Purchasing Power Parity – PPP) අනුව සලකා බැලීමේ දී ය. නාමික දළ දේශීය නිෂ්පාදිතය අනුව නම්, ඉන්දියාව අද ඉන්නේ ලොව 6 වැනි තැනය. බොහෝ වෘත්තීමය පුරෝකථන අනුව 2027 වසර වන විට ඉන්දියාව නැවතත් එක්සත් රාජධානිය හා ජපානය අභිබවා ඒ අතින් ලොව 4 වැනි රාජ්‍යය වීමට නියමිත ය. එමෙන්ම 2031 දී එය ලොව 3 වැනි විශාලතම ආර්ථිකය වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කර ඇත.

ජනප්‍රිය පුවත්  ''ඉනට වැරැහැලි" ඇන්දෙ කිම දුව?

ස්වාධීන බලවත් ඉන්දියාවක් වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍යව ඇත්තේ පරාධීන දුබල ඉන්දියාවක් ය. එමෙන්ම කැබැලි කිහිපයකට බෙදුණු ඉන්දියාවක් ය. මෝඩිගේ නායකත්වය යටතේ වැඩුනේ ප්‍රභල ඉන්දියාවක් ය. හින්දු ජාතිකවාදය මත පදනම්ව නැගෙන ඉන්දියාවක් ය. ප්‍රාන්ත පාලනයන්ට උවමනා පරිදි මුදුන නොනටන ඉන්දියාවක් ය.

මෝඩි කලාපීය ආධිපත්‍යයට බරය. ලංකාව ද තම ඊළඟ ප්‍රාන්තය කර ගැනුම මෝඩිගේ බල ව්‍යාපෘතියේ කොටසක් ය. ඒ අනුව, මෝඩි නැති ඉන්දියාව අපට හොඳයැයි සි‍තෙන එක සාධාරණය. එහෙත්, තේරුම්ගත යුත්තේ දුබල ඉන්දියාව අපට ඊට වඩා නරකට බලපාන බවය. ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජනපද උපායමාර්ගික උවමනාව වටහාගතහොත් පමණක් එය තේරුම්ගත හැකිය.

දෙමළ බෙදුම්වාදය දිනවීමේ ප්‍රබල අවශ්‍යතාව තිබුණේ බටහිරට ය. ඉන්දියාවට එය සමග පැවැතියේ ප්‍රයෝජ්‍යවාදී හා උපක්‍රමික සම්බන්ධයක් ය. බටහිර හිටියේ උපායමාර්ගිකව ය. උතුර හා නැගෙනහිර දෙමළ ඊළම පිහිටුවා, ඒ සඳහා ලැබෙන ත්‍යාගය ලෙස ත්‍රිකුණාමලය සිය යුද තිප්පොල බවට පත්කර ගැනීම ඇමරිකා එක්සත් ජනපදයේ ඇත්ත උවමනාව ය. ඒ හා බැඳුණු සියළු පරමාර්ථ ශඵල කරගන්නනම් ලංකාව කැබැලිකරණය විය යුතුය. එයට බාධාවක් නොවන දුබල හා බිඳුණු ඉන්දියාවක් තිබිය යුතුය.

ජනප්‍රිය පුවත්  ක්‍රිස්ටලීනාගේ "උම්මා" එක !

දුබල ඉන්දියාව නටවන්නේ වලිගයෙන් ය. දකුණු ඉන්දියාව ඇතුළු ප්‍රාන්ත පාලනයන්ට උවමනා පරිදි ය. එය අවාසි වන්නේ ලංකාවට ය. අපේ රටේ වූ ගාලුමුවදොර අරගලය නිසා ඉන්දියාව සමඟ වන “ඇරියස්” මත මේ බව වටහා නොගතහොත් අපට සිදුවනු ඇත්තේ “කැරපොත්තාට ඇති වෛරය නිසා කූඹි ටික කෘමිනාශකවලට ඡන්දය දුන්නා වගේ” වැඩක් ය. අවසානයේ දී සිදුවනු ඇත්තේ කූඹිත්, ඡන්දය නොදුන් මැස්සන් ද ඇතුළුව හැමෝම කෘමිනාශකවල ගොදුරු වීම ය.

“කුකුලන්ගේ රණ්ඩුවලට කැරපොත්තන්ට වැඩක් නැත” යනුවෙන් කියන්නේ කැරිබියන් දූපත් වලය. තමන්ට වඩා බලවතුන් අතර සිදුවන ආරවුල් හෝ ගැටලුවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවිය යුතු බව මින් අදහස් කරන්නේ ය. ඒ කියමනේ කිසි වරදක් නැත.

එහෙත්, කුකුලන්ගේ රණ්ඩුව අවසාන වන්නේ, තමන්ට හිතකරවදැයි විමසාබැලීම වැදගත් ය. නොමැති නම් වෙන්නේ කෘමිනාශකවලට ඡන්දය දුන් කූඹියාට වූ දේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x