සලේ නිරුවත් කළ හැටි CID ය වමාරයි !
1 min read
සුරේෂ් සලේ නිරුවත් කර ගුද මාර්ගය පවා පරීක්ෂාවට ලක් කර බවත්, එය සෙසු සිරකරුවන් ද බලා සිටින්නට ඇති බවත් රහස් පොලීසිය අද (16) මානව හිමිකම් කොමිෂමේ පැවැති විමර්ශනයේදී කියා සිටියේය.
එහි දී මානව හිමිකම් කොමිෂමේ නිලධාරින් හා සුරේෂ් සලේගේ නීතිඥයන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් රහස් පොලීසියේ නිලධාරින් පෙන්වා දී ඇත්තේ, තමන් බාරයේ සිටින රැඳවියන් එලෙස පරීක්‍ෂා කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බවයි. මෙම නිරුවත් කර පරීක්ෂාකිරීම සෙසු සිරකරුවන්ද බලා සිටියාද යනුවෙන් කළ ප්‍රශ්න කිරීමේ දී රහස් පොලීසියේ නිලධාරින් පවසා ඇත්තේ ඔවුන් එම පරීක්ෂාකිරීම දකින්නට ඇති බවයි.
මීට අමතරව, සුරේෂ් සලේගේ ගුද මාර්ගයට කුමක් හෝ ඇතුල්කරන ලද්දේය යන පැණය හමුවේ රහස් පොලිස් නිලධාරින් පවසා ඇත්තේ, පෑනක් හෝ එවැනි කිසිවක් ඇතුල් නොකළ බවත්, එහෙත් පරීක්ෂාකර බැලීමක් සිදු කළ බවය.
මෙම නිරුවත් කර පරීක්ෂාකර බැලීම සිදු කරන ලද්දේ 2026 මාර්තු 8 වැනි දින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID වෙනුවෙන් පෙනී සිටි ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.
ඒ අනුව, මානව හිමිකම් කොමිෂන් සභාව විසින්, පැමිණ සිටි පොලිස් නිලධාරින්ට පහත ලේඛන සහ තොරතුරු 2026 ජුනි 26 දින හෝ ඊට පෙර ඉදිරිපත්කරන ලෙස නියෝග කර තිබේ.
1) ශරීර පරීක්ෂා කිරීම සම්බන්ධ සම්මත ක්‍රියාපටිපාටිය. (Standard Operation Procedures – SOP 5)
2) 2026 වර්ෂය තුළ එවැනි ශරීර පරීක්ෂා සිදු කළ සියළු දින හා වාර්තා.
3) අදාල CCTV දර්ශන.
4) 2026 මාර්තු 8 දින ශරීර පරීක්ෂාව සිදු කළ නිලධාරින්ගේ නම්.
5) රැඳවුම් නියෝගය (Detention Order) නිකුත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ඒ පිළිබඳ දැනුම් දුන් දිනය සනාථ කරනු ලබන ලේඛන.
පසුගියදා අධිකරණයට ඉදිරිපත් කරන ලද අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවෙහි තිබුණේද සුරේෂ් සලේ තදබල මානසික පීඩාවකට ගොදුරු කර ඇති බැවින් ඔහුව මානසික වෛද්‍ය ප්‍රතිකාර ගත හැකි වෙනත් ස්ථානයක තබාගැනීම සුදුසු බවය. සෙසු සිරකරුවන්ට පෙනෙන ලෙස සියළු ඇඳුම් ගලවා ගුද මාර්ගය පවා පරීක්ෂා කිරීම මගින් ශානි අබේසේකර බලාපොරොත්තුවන්නේ, ජනාධිපති රැඳවුම් නියෝග යටතේ තමන් බාරයේ සිටින සුරේෂ් සලේ දැඩි පීඩාවකට ලක් කිරීම බව මේ අනුව සනාථ වී ඇත.
- දිඳුල ලද්දුවහෙට්ටි –
