සජිත් ප්‍රේමදාස දැන් ඉන්නේ කුමන ඉරණමකටද ලක්වද? එය තේරුම් ගැනීමට නම් ඔහුගේ දේශපාලන කේන්දරය කියවා ගත හැකි දේශපාලන ජ්‍යෝතිෂ ඥාාණයක් තිබිය යුතුය. නිකම්ම නිකන් දේශපාලන ජ්‍යෝතිෂ ඥාාණයක් නොව ගැඹුරු දේශපාලන ජ්‍යෝතිෂ ඥාාණයක් ඒ සඳහා තිබිය යුතුය.
සජිත්ගේ දේශපාලන කේන්දරයට අනුව ඔහු මේ ගෙවන්නේ මාරක අපල උපද්‍රව සහිත කාලයකි. එහෙත් ඒ බව නොදන්නා එකම “පුත්‍රයා” වන්නේ ඔහුය. ඔහුගේ දේශපාලන කේන්දරේ වූ ප්‍රභල “ග්‍රහයෙකු” පසුගියදා ජනාධිපතිගේ ආශිර්වාදය ඇතුව ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලයේ සභාපතිවරයා බවට පත් කෙරිණි. පැවති නිත්‍යානුකූල ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඒ අපහසු කටයුත්ත සාමකාමීව කරගන්නට ජනාධිපති අනුරට පුළුවන් වූයේ ඉන්දියාවේ ආශිර්වාදය ඇතිවය.
ICC ය හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තියෙන්නේ ඉන්දියාවේ පාලනය යටතේ ය. එහි සභාපතිවරයා වන්නේ ඉන්දියාවේ BJP පාලනයේ මෝඩිට පසු සිටින ප්‍රභලතම ඇමැතිවරයා වන ස්වදේශ කටයුතු ඇමැතිගේ පුත්‍රයා ය. නමින් ඔහු ජේෂාහ් ය.
රනිල් ජනාධිපති කාලයේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ද ක්‍රිකට් පාලනය ෂම්මිලාගෙන් ගලවාගන්නට වෙර දැරුවේය. එහෙත් එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ හිට ගත්තේ ෂම්මි සිල්වාගේ පැත්තේ ය. ඒ නිසා ෂම්මි සිල්වා ද ඒ වෙලාවේ පැවති පාලනයට යටත් වූයේ නැත.
මෙවර ෂම්මි සිල්වා සිහින් කෙඳිරියක්වත් නැගුවේ නැත. ඒ, ඔහු දැන් “සිරිසඟබෝ” කෙනෙකු බවට පත්වී සිටින නිසාද? නැත! ඉන්දියානු ක්‍රිකට් බලධාරී ජේෂාහ් (ICC ක්‍රිකට් බලධාරී ද ඔහුම ය.) ෂම්මි සිල්වාගේ හිත යොමු කළේ සාමකාමී ඉවත්වීමක් සඳහා වන නිසාය. ඒ රැකවරණය නැති බව දුටු ෂම්මි සිල්වා ආරක්‍ෂිතව පසුබැසී මේ මාර්ගය තෝරාගනු ලැබීය.
ඉන්දියාවට අනුරගේ ආණ්ඩුව හොදය. ලංකාවේ කිසිම පාලකයකුගෙන් කරකියා ගත නොහැකි වූ ඖෂධ ප්‍රමිතිය බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ සිට ඉන්දියානු ප්‍රමිතිය දක්වා පහතට දමා ගත හැකි වූයේ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව කතා පැවැත්වූ අනුරගේ ආණ්ඩුවෙන්ය. පැය 48 ක් යන විට කොළඹ වරායේ “ඩොක්යාඩ්” එක ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් ආයතනයක අයිතියට ගැනීමට හැකි වූයේ අනුරගේ ආණ්ඩුවෙන්ය. ආරක්‍ෂක ගිවිසුමක් ඇතුළුව ගිවිසුම් 7 ක් රහසිගතව තබාගැනීමේ කොන්දේසියට යටත්ව අත්සන් කර ගැනීමට ඉන්දියාවට හැකි වූයේ අනුර ආණ්ඩුවෙන්ය.
ශ්‍රී ලංකාවේ රටවැසියන්ගේ ඉතා සංවේදී ජීව දත්ත සහිත ඩිජිටල් හැඳුනුම්පත ඉන්දීය පාලනයට යටත්, ඉන්දීය සමාගමකට පැවරීමට එකඟ වූයේ ද අනුරගේ ආණ්ඩුවය. ඒ අනුව බැලූ කල අනුරගේ ආණ්ඩුව තරම් සුවච කීකරු හීලෑ ආණ්ඩුවක් ඉන්දියාවට මෑත ඉතිහාසයේදී වෙන මුණ ගැසී නැත.
ෂම්මි සිල්වා පසුබැස්සේ ජනාධිපති අනුරට බයේ නොවේ. ඉන්දියාව අනුරගේ ආණ්ඩුව වෙනුවෙන් ඉන්නා බව දන්නා නිසාය. තම ගජ මිතුරු ජේෂාහ් ෂම්මිට දුන්නේ එවැනි උපදෙස් නිසාය.
ප්‍රශ්නය වන්නේ එයම නොවේ. ෂම්මි සිල්වා ඉවත් වූ පසු ගෙනාවේ කාවද? ගෙනාවේ එරාන් වික්‍රමරත්න ය. එයට ජනාධිපති අනුරගේ හිත හැදුවේ ප්‍රමිෂ්කා බව ඇත්තය. නමුත්, ඉන්දියාවට එරාන් වික්‍රමරත්න විකුණුවේ ක්‍රිශාන්ත කුරේය. හරියටම කිවහොත් ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේය. ඔහු දීර්ඝ කාලයක් පුරා රනිල් වික්‍රමසිංහගේද ගජ මිතුරෙකු බව නොදන්නා අයකු නැත.
අනුරගේ පාලනයට තිබෙන ලැදියාව මත ක්‍රිකට් පාලනය ෂම්මි සිල්වාගෙන් ගැලවීමට ඉන්දියාව එකඟවීම අපට තේරුම් ගත හැකිය. එහෙත් එමඟින් ඇතිවන පුරප්පාඩුවට සජිත් ප්‍රේමදාසගේ කඳවුරේ කෙනෙකු ගෙන එන්නේ කුමන හේතුවක් නිසාද? ඉන්දියාව මෙහිදී සජිත් ප්‍රේමදාසට ඇත්තටම ලැදි නම් එරාන් ගෙන ඒමට විරුද්ධ විය හැකිව තිබුණි. නමුත්, එය එසේ වූයේ නැත. ෂම්මි සිල්වා දැවී ක්‍රීඩාංගනයට යන විට ඊළගට ආවේ සජිත් ප්‍රේමදාසව දවාළන අන්දමේ ක්‍රීඩකයෙක්ය. මෙමගින් හැඟෙන්නේ “එක ගලින්” කුරුල්ලන් දෙදෙනෙක්ම බෑවීමේ ප්‍රතිපත්තියක ඉන්දියාව සිටි බවය.
එරාන්ව ක්‍රිකට් පාලනයට ගැනීමෙන් බරපතළ ලෙස අසරණ වූයේ සජිත්ය. අවශ්‍ය නම් ඉන්දියාවට, ආණ්ඩුවට උදව් කරන ගමන් සජිත්ව ඒ තරම් අසරණ කර නොසිටින විදියේ තෝරාගැනීමකට යාමට ඉඩක් ද මෙහිලා තිබුන බව පැහැදිලිය. එහෙත් වූයේ අනුර ශක්තිමත් කරන ගමන් සජිත් දුර්ලව කරන අන්දමේ පන්දුවක් යැවීමට ඉන්දියාවේ ආශිර්වාදය හිමිවීමය. භූ දේශපාලන යථාර්ථය කියවා ගත හැකි අපට, ඒ මත කියවා ගත හැක්කේ සජිත්ගේ දේශපාලන කේන්දරයේ දැන් ඉන්දියාව “නීච” වී තිබෙන බවය’
ඒ අනුව, ඉදිරියේදී හර්ෂද සිල්වා වැනි ග්‍රහයන් කිහිපදෙනෙකුද ආණ්ඩුවේ “තණතුරු” දරණ පුද්ගලයන් බවට පත්වීමට නියමිතය. බිමල් රත්නායක හා ලාල් කාන්ත ද පසුගියදා ප්‍රකාශ කළේ “එරාන් වික්‍රමරත්න” වැනි හොඳ මහත්වරු තව කිහිපදෙනෙක් ඉදිරියේදී ආණ්ඩුවට ගන්නා බවය. ඒ අනුව හර්ෂද සිල්වා සිටින්නේද ඒ “හොඳ මහත්තුරු” ගොඩේ බව පැහැදිලි වන ආසන්නතම සිදුවීම වන්නේ රංග රාජපක්‍ෂ නැමැති රාජ්‍ය සේවකයාගේ මරණය පිළිබඳ ඔහු කරන ලද ප්‍රකාශයය.
මාධ්‍යවේදියෙකු රංග රාජපක්‍ෂගේ මරණය ගැන අසන විට හර්ෂද සිල්වා ද කියනුයේ “ඔහු මිය ගිහින්. ඔහු ගැන කතා කරමින් එම පවුලේ සාමාජිකයින්ට තව වේදනාවක් ලබාදීමට අප කටයුතු කළ යුතු නෑ” කියාය. බැලූ බැල්මටනම් ඒ කියමන සාධාරණය ය. ඒ අතින් ඔහු ඉන්නේ බුදුන් වහන්සේටත්, යේසුත් වහන්සේටත් ආසන්නයෙන් ය. එහෙත් විපක්‍ෂයේ
දේශපාලකයකු රංග රාජපක්‍ෂගේ මරණය ගැන එතරම් “මධ්‍යස්ථ” වන්නේ කෙසේද? පසුගිය ආණ්ඩු කාලයේ සිදුකෙරුණ යැයි කියන ලද තාජුඩීන් නැමිති රගර් ක්‍රීඩකයාගේ මරණය ගැන කියද්දී හර්ෂද සිල්වා මේ සාධාරණත්වයේ ස්ථාවරය ගනු ලැබුවේ දෙ? නැත! එසේ නම් මේ සිදු වී ඇත්තේ කුමක් ද?
බිමල් රත්නායකලා, ලාල් කාන්තලා “කීප දෙනෙක් ගන්නවා” කියන ප්‍රකාශයට අදාළව හර්ෂද සිල්වා ඉන්නෙත් ඒ ලිස්ට් එකේ ය. ඒ අනුව සජිත් අතහැර හර්ෂ ද සිල්වා ද හෙට අනිද්දා අනුරගේ පාලනයේ කොටස්කරුවන් වීම නියතය.
සජිත් දැන් ඉන්නේ අතිශය අනාරක්‍ෂිත කලාපයකය. රනිල්ටද ඕන සජිත්ව ඒ අනාරක්‍ෂිත කලාපය තුළ නැත්තටම නැති කරන්නට ය. ඉන්දියාව විසින් පාර කැපුවද හර්ෂලා ද, එරාන්ලා ද ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ ඉත්තෝය. ඒ අනුව දේශපාලන කේන්දරය අප කියවා ගත යුත්තේ කුමන අයුරින්ද? ඉන්දියාව පිටිය සකසනු ලබයි.
ක්‍රීඩකයන් එවන්නේ ඇමරිකානු හිතවාදීන්ය. ඇමරිකානු හිතවාදීන් කීවාට ඔවුන් ඉන්දියානු විරෝධීන් නොවේ. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ සජිත්ට කෙලවීමය. සජිත් නොදන්නා එකම දේත් ඒකමය.
ඉන්දියාව සහ ඇමරිකාව යන දෙකටම මේ වෙලාවේ සජිත් තෝරාගැනීමක් නොවේ. ඇමරිකාව බලන්නේ සජිත් වෙනුවට චම්පක විපක්‍ෂයේ එම ස්ථානයට ගෙන ඒමට ය. ඒහෙත්, ඒ අනුරගෙ දේශපාලන බල පැවැත්ම බේරාගැනීමට කිසිම විදියක් නැති අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමටය. ඉන්දියාවට ද අනුරගේ දේශපාලන බලපැවැත්ම නැති කරන්න හේතුවක් නැත. අනුරට “කෙළවෙන” වෙලාවට සජිත්ව ගේන්න පුළුවන්යැයි ඉන්දියාවට හිතෙන්නේ ද නැත. ඇමරිකාව එම තත්වයට උත්තරය ලෙස චම්පකව තෝරා ගෙන ඇතැයි පෙනුනද ඉන්දියාව එම තෝරාගැනීම තම තෝරාගැනීම කරගනු ඇත්දැයි කීමට තවම කාලය ප්‍රමාණවත් නැත. දේශපාලන ග්‍රහචාරය අනුව කිවහැකි වැදගත්ම දේ සජිත් ප්‍රේමදාස මෙම ග්‍රහ ලක්ෂණ අනුව දේශපාලන බල සාධක අතරින් අතුරුදහන් වීමට නියමිත බවය. එය අවබෝධ කරගැනීමට හා පිළිගැනීමට ඔහුට ඇති නොහැකියාවම ඔහුගේ කෙළවීමට ඇති ප්‍රභල හේතුවක් බව නොකිවමනාය.
මීට අදාළ ඉතිරි කතාව කියන්නේ තව ඉස්සරහට ය.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
