April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වැට් සහ ආනයන බදු ඉවත් කළොත් ඩීසල් 247යි, පෙට්‍රල් 251 යි! ජයන්ත සමරවීර ආණ්ඩුවට කියා දෙයි..

1 min read

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ රජය පනවා ඇති වැට් (VAT) ඇතුළු අනෙකුත් බදු ඉවත් කරන්නේ නම්, වත්මන් ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් සැලසීමට රජයට හැකියාව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, රජය මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ප්‍රකාරව කටයුතු කරන්නේ නම් ඉන්ධන මිල මෙලෙස ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

“ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිවීමට රජයට කළ හැකි දෙයක් නැති බව අප පිළිගන්නවා. නමුත් දේශීයව පාලනය කළ හැකි බදු සංශෝධනය හරහා ජනතාවට සහන දීමට ආණ්ඩුවට පුළුවන්. අද ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 70ක වැට් බද්දක් සහ රුපියල් 65ක ආනයන බද්දක් ලෙස රුපියල් 135ක මුදලක් රජය ලබා ගන්නවා. මෙම බදු ඉවත් කළහොත් ඩීසල් ලීටරයක් රුපියල් 247කට ලබා දිය හැකියි.”

එමෙන්ම 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 147ක් ද, භූමිතෙල් ලීටරයකින් රුපියල් 45ක් ද බදු ලෙස අය කරන බව පෙන්වා දුන් ඒ මහතා, වැට් බද්ද ඉවත් කරන්නේ නම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 251ක් වැනි මිලකට ජනතාවට ලබා දිය හැකි බව අවධාරණය කළේය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවලදී අත්‍යාවශ්‍ය ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපන උපකරණවල වැට් බද්ද ඉවත් කරන බවට පොරොන්දු වුවද, බලයට පත්ව වසර එකහමාරක් ගතවන තෙක් එම පොරොන්දු ඉටු කර නොමැති බවටද ඔහු චෝදනා කළේය.

නව QR ක්‍රමය හඳුන්වා දී දින 14ක් ගත වුවද, ගොවීන්ගේ හා ධීවරයන්ගේ යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් සමරවීර මහතා, මෙය ආණ්ඩුවේ අසමත්භාවය විදහා දක්වන්නක් බවද පැවසීය.

දීර්ඝකාලීන විසඳුම් ලෙස පිරිපහදුව නවීකරණය කිරීම හා නල පද්ධතියේ කාන්දුවීම් වැළැක්වීම අත්‍යාවශ්‍ය වුවද, වහාම කළ හැකි ක්‍රියාව වන්නේ බදු ඉවත් කර ජනතාව පීඩනයෙන් මුදා ගැනීම බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් පවත්වන ලද සම්පූර්ණ දේශනය මෙසේය.

“ආයුබෝවන්, සුබ උදෑසනක් මාධ්‍යවේදී සහෝදරවරුනි.

අද මෙම මාධ්‍ය හමුව හරහා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ තෙල් මිල සම්බන්ධයෙන්, තෙල් මිල අඩු කිරීමට ආණ්ඩුව ගත යුතු පියවර පිළිබඳව, ආණ්ඩුවට කළ හැකි දේ පිළිබඳව, ආණ්ඩුවට මේ රටේ ජනතාව වෙනුවෙන්, ජනතාවට ආදරයක් තියෙනවා නම් සහ ජනතාව පීඩනයෙන් ගලවා ගැනීමට උවමනාව තියෙන ආණ්ඩුවක් නම් ආණ්ඩුව කළ යුතු දේ පිළිබඳව කියන්නට.

දැන් අපි දන්නවා තෙල් මිල වැඩිවීම ගැන ආණ්ඩුව කියනවා ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිවීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තෙල් මිල අපිට වැඩි කරන්න සිද්ධ වුණේ කියලා. ලෝකයේ ඇතිවෙලා තිබෙන, විශේෂයෙන් ගල්ෆ් කලාපයේ ඇතිවෙලා තිබෙන ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එල්ල කරන මෘග ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට ගල්ෆ් කලාපයේ පැනනැගී තිබෙන මේ මහා යුධමය තත්ත්වය නිසා තෙල් මිල ලෝක වෙළඳපොළේ වැඩි වෙලා තිබෙනවා. ඒ වැඩිවීමේ ප්‍රතිඵලයක් හැටියට අපිටත් තෙල් මිල වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා කියලා ආණ්ඩුව කියනවා.

ජනප්‍රිය පුවත්  රංවල ගොඩ! පුනරුදයට ජය

හැබැයි ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිවීමට අනුව දැන් තෙල් මිල වැඩි කරන්න සිද්ධ වෙන්නේ මේ අලුතින් ගේන තෙල් වලටයි. නමුත් ආණ්ඩුව, ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙන්න පෙරාතුව ගෙනල්ලා තිබිච්ච පරණ තෙල්වලත් මිල වැඩි කරලා, කඩේ මිලට තෙල් විකුණලා විශාල ගාණක් හොයාගත්තා; විශාල ලාභයක් ලැබුවා. ඒක වෙනම කතාවක්. නමුත් දැන් ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙලා තිබෙනවා. දැන් ශ්‍රී ලංකාවට රටට එන්නේ වැඩි වෙච්ච මිලට තමයි තෙල් ගන්නේ. ඒ මිලට අනුව තමයි දැන් විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ; ඒක ආණ්ඩුවට පාලනය කරන්න බැහැ, ඒක අපි පිළිගන්නවා. නමුත් ආණ්ඩුවට පාලනය කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා තෙල් මිල අඩු කරලා මිනිස්සුන්ට දෙන්න.

ඒ කොහොමද? දැන් ඔබ දන්නවා ජනාධිපතිවරණ සමය, ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණ සමයේත් ජනාධිපතිවරයා හැටියටත් ජනාධිපති ධූර අපේක්ෂකයා හැටියටත් අනුර දිසානායක මහත්තයා හැම වේදිකාවක් වේදිකාවක් වේදිකාවක් පාහේම පාවිච්චි කරලා කිව්වා මේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වැට් (VAT) ටික ඉවත් කරනවා, අධ්‍යාපන උපකරණවල වැට් එක ඉවත් කරනවා, සෞඛ්‍ය උපකරණවල වැට් එක ඉවත් කරනවා කියලා. හැබැයි ඒ වැට් කතාව ඉවත් කරනවා කියලා සහතික පිට සහතික ලබා දුන්නා, පොරොන්දු වුණා. නමුත් ආණ්ඩුව ආවට පස්සේ ඒ පිළිබඳව දැන් කිසි කතාවක් නැහැ.

අධ්‍යාපන උපකරණවල වැට් එක අයින් වුණෙත් නැහැ; සෞඛ්‍ය උපකරණවල වැට් එක අයින් වුණෙත් නැහැ; අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වැට් එක ඉවත් වුණෙත් නැහැ. දැන් අවුරුදු එකහමාරක් වෙනවා ආණ්ඩුව ඇවිදිල්ලා. දැන් ඒ අධ්‍යාපන උපකරණවලින්, සෞඛ්‍ය උපකරණවලින්, සෞඛ්‍ය වියදම්වලින් ඒ වගේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් අතිවිශාල වැට් මුදලක් මේ වෙනකොට ඒගොල්ලෝ උපයාගෙන තියෙනවා, හොයාගෙන තියෙනවා. තාමත් ඒ පිළිබඳ වැට් දිගටම අධ්‍යාපන වියදම්වලට, සෞඛ්‍ය වියදම්වලට, බෙහෙත් පෙත්තට පවා වැට් එක අය කරනවා.

දැන් අපි ආණ්ඩුවට යෝජනා කරනවා, දැන් මේක දරාගන්න බැරි මිලකට තෙල් මිල වැඩි වෙලා තියෙනවා. ත්‍රීවීල් රථ රියදුරෝ වෙන්න පුළුවන්, බස් හිමියන් වෙන්න පුළුවන්, පෞද්ගලික වාහන පාවිච්චි කරන අය වෙන්න පුළුවන්, යතුරුපැදියක් පාවිච්චි කරලා වැඩට ගමන් බිමන් යන අය වෙන්න පුළුවන්, හැමෝම බරපතළ පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ තෙල් වැඩිවීමේ ප්‍රතිඵලය හැටියට සියලු අපි කන බොන අඳින පළඳින සියල්ලෙම ගණන් වැඩිවෙලත් තියෙනවා. ඒ නිසා ආණ්ඩුව කරනවා නම් මෙන්න ආණ්ඩුවට පුළුවන් කරන්න.

අර ආණ්ඩුව දීපු පොරොන්දුවක් තියෙනවා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වැට් එක අඩු කරනවා කියලා, සෞඛ්‍ය වියදම්වල වැට් එක අඩු කරනවා කියලා, අධ්‍යාපන උපකරණවල වැට් එක අඩු කරනවා කියලා. හැබැයි ඒකත් කඩ කළා, ඒක මේ වෙනකන් කළේ නැහැ. දැන් අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් කරනවා නම් ආණ්ඩුවට පුළුවන් මේ තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන්න. ඒ කොහොමද? දැන් වෙළඳපොළේ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 382යි. ඔටෝ ඩීසල් ලීටරයක තිබෙනවා වැට් බද්ද රුපියල් 70කට ආසන්නව. ඒ වගේම ආනයන බද්දක් තියෙනවා; සියලු ආනයන බදු එකතු කළාට පස්සේ රුපියල් 65ක ආනයන බදුත් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 135ක් තියෙනවා ඩීසල් ලීටරයකට වැට් සහ වෙනත් බදු. එතකොට මේ රුපියල් 135 අඩු කළාට පස්සේ රුපියල් 247කට දෙන්න පුළුවන්. ඉතින් දෙන්නකෝ 247ට, මිනිස්සුන්ට ඒක සහනයක් නෙමෙයිද?

ජනප්‍රිය පුවත්  "ආයෙ බොරු විදින්න එපා මචං!'' හිත මිතුරා ජනපතිට කියයි!

එතකොට භූමිතෙල් ගත්තත් එහෙමයි. භූමිතෙල් පාවිච්චි කරන්නේ අහිංසක මිනිස්සු, ධීවරයෝ. භූමිතෙල් ලීටරයක තියෙනවා රුපියල් 45ක වැට් එකක්. දැන් මිල 302යි, ඒ 45 අඩු කළොත් 254ට දෙන්න පුළුවන්. ඊළඟට 92 පෙට්‍රල් ලීටරයක තියෙනවා රුපියල් 71ක වැට් බද්දක්. ආනයන බදු සියල්ල එකතු කළාම රුපියල් 76ක් තියෙනවා. රුපියල් 398යි දැන් වර්තමාන 92 පෙට්‍රල් ලීටරයක්. ඒකෙන් වැට් සහ ආනයන බදු ඉවත් කළොත් රුපියල් 251කට දෙන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 147ක් තියෙනවා වැට් සහ ආනයන බදු. ඒ 147 අඩු කළාට පස්සේ 251කට දෙන්න පුළුවන්.

ඉතින් මම මේ මතක් කරන්නේ ජනාධිපතිවරණ කාලේ සහ පාර්ලිමේන්තු මැතිවරණ කාලේ ජනතාවට දීපු පොරොන්දු. ඒ පොරොන්දු ආයි මතක් කරනවා; අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට තියෙන වැට් එක අයින් කරනවා කිව්වා, අධ්‍යාපන වියදම්වලට තියෙන වැට් එක අයින් කරනවා කිව්වා, සෞඛ්‍ය වියදම්වලට බෙහෙත්වලට තියෙන වැට් එක අයින් කරනවා කිව්වා. හැබැයි ඒ පොරොන්දුව කඩ කළා, ඒ පිළිබඳව දැන් කතාවක් නැතුව ඉන්නවා. අපි ආයේ මතක් කරලා කියනවා, හරි ඒ මහත්තයෝ ඒවත් අය කරන්නකෝ, ඒවත් අය කරගන්නකෝ.

දැන් රට බරපතළ අසීරුතාවයකට පත්වෙලා තියෙන වෙලාවේ ආණ්ඩුවට ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිවීම පාලනය කරන්න බැරි නම් ඒක අපි පිළිගන්නවා. එහෙනම් මොකද කරන්න ඕනේ? කෙටි කාලීනව ආණ්ඩුව අය කරන, ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙන්න වැඩි වෙන්න වැට් එකත් වැඩි වෙනවා. අපි හිතමු ඩීසල් ලීටරයක් ගත්තේ රුපියල් 100ට කියලා, එතකොට වැට් එක 18යි, ගෙවන්න ඕනේ 118යි. ඩීසල් ලීටරයක් ලෝක වෙළඳපොළේ රුපියල් 200 වුණාම වැට් එක ගෙවන්න ඕනේ රුපියල් 36ක්. ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙන්න වැඩි වෙන්න මේ වැට් එකට ජනතාව ගෙවන්න ඕන මිලත් වැඩි වෙනවා. ඒ නිසා අපි කියන්නේ වැට් එක කරුණා කරලා ඔබ දීපු පොරොන්දු ප්‍රකාරව ඉවත් කරන්න, ආනයන බදු ඉවත් කරන්න. ඉවත් කරලා මේ තෙල් මිල සැලකිය යුතු මිලකින් අඩු කරලා මිනිස්සුන්ට සහනයක් සලසන්න.

ඒ වගේම දීර්ඝකාලීනව කළ යුතු යෝජනා තියෙනවා. ඒ තමයි දැනට තිබෙන අපේ පිරිපහදුව ඉවත් කරලා එතනට නව පිරිපහදුවක් ගේන්න ඕනේ. දෙක තමයි තෙල් නල පද්ධතියේ විශාල කාන්දුවීම් තියෙනවා, ඒ කිලෝමීටර් හයහමාරක තෙල් නලවලින් සිදුවෙන කාන්දුවීම්වලින් විශාල පරිමාවක තෙල් නාස්ති වෙනවා; ඒකත් මිලට බලපානවා. පරණ පිරිපහදුවේ තිබෙන දෝෂ නිසාත් තෙල් නාස්තියක් වෙනවා, ඒකෙනුත් මිල වැඩිවීමට බලපානවා. ඒ වගේම නව ජැටියක්, ගැඹුර සහිත ජැටියක් නිර්මාණය කරන්න ඕනේ, මුහුද ගැඹුරු කරන්න ඕනේ අඩුගානේ මීටරයකින්වත් සපුගස්කන්දේ. මේ වගේ දීර්ඝ කාලීනව කළ යුතු වැඩ කොටසක් තියෙනවා තෙල් මිල අඩු කරන්න; ඒවා මේ වෙලාවේ කරන්න බැහැ, අපි ඒවත් පිළිගන්නවා. හැබැයි කළ හැකි කරන්න පුළුවන් වැඩේ තමයි වැට් එකයි ආනයන බද්දයි කිසියම් ප්‍රමාණයකට හෝ අඩු කරන එක. එතකොට තෙල් මිල පහළ බැහිනවා, ඒ එක්කම අපි කන බොන අඳින පළඳින දේවල්වලත් මිල අඩුවට ලබාගන්න පුළුවන් වෙනවා.

දෙවෙනි කාරණය තමයි දැන් ගොවි ජනතාව විශාලම ඇඳවිල්ලක් නගනවා, විශේෂයෙන් මේ ගොයම් කපන කාලේ ඒගොල්ලොන්ට තවමත් තෙල් නැහැ. ගොයම් කපන යන්ත්‍රවලට තෙල් ටිකක් ගන්න විදිහක් නැහැ. ඒ වගේම යළ කන්නේ වපුරන්න කල්පනා කරන අයටත් ප්‍රශ්න ගොඩක් තියෙනවා; එකක් තෙල් නැති නිසා යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්න බැහැ, දෙක පොහොර නැහැ. අද ගොවි ජනතාව බරපතළ පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීලා තිබෙනවා. අඩු ගානේ මේ ප්‍රශ්නය පිළිබඳ වගේ වගක් ආණ්ඩුවට නැහැ. දැන් දින 14ක් වෙනවා අදට QR ක්‍රමය හඳුන්වා දීලා, ඉතින් තාම බැරි වුණානේ වාහන නොවන කාණ්ඩයට – ඒ කියන්නේ ගොවි ජනතාවගේ යන්ත්‍ර සූත්‍රවලට, ධීවර ජනතාවගේ බෝට්ටුවලට, ජෙනරේටර් වගේ වෙනත් යන්ත්‍ර උපකරණ සඳහා තාම QR කේතයක් හඳුන්වා දෙන්න බැරි වුණානේ. දින 14කුත් ගිහිල්ලා තාම බැරි වුණානේ. තාම කියනවා හෙට දෙනවා අනිද්දා දෙනවා කියලා, ඒක හරියට බාලගිරි දෝෂ වගේ.

ජනප්‍රිය පුවත්  ගාල්ල නගර සභාවේ අය වැයත් ආණ්ඩුව පරාදයි!

වාහන නොවන කාණ්ඩයට QR කේතයක් හඳුන්වා දෙන්න බැරි තරමේ අසමත් ආණ්ඩුවක්, අමාත්‍යාංශයක්. මහා උපදේශකයෝ ඉන්නවා, ජනාධිපතිවරයා යටතේ නේද මේවා තියෙන්නේ? ඇයි එහෙම වුණේ? මේ කිසිම සූදානමක් තිබුණේ නැහැ. ලෝකයේ නව යුධමය තත්ත්වයන් නිර්මාණය වෙද්දී දේශපාලන විශ්ලේෂකයෝ මේ පිළිබඳ නිරන්තරයෙන් පුරෝකථනයන් කළා, මේක තුන්වන ලෝක යුද්ධයක් මට්ටමට වර්ධනය විය හැකියි කියලා ඇඟෙව්වා. නමුත් ලංකාවේ පාලකයන්ට මේවා ගැන වගේ වගක් නැහැ. වගක් තිබුණා නම් ගල්ෆ් කලාපයේ ඇතිවිය හැකි යුද්ධයක් තෙල් මිලට සහ සැපයුමට බලපාන විදිහ ගැන කලින් සූදානම් වෙන්න තිබුණා. එහෙම සූදානම් වෙලා හිටියා නම් දින 14ක් යනවද මේ වාහන නොවන කාණ්ඩයට QR ක්‍රමය හඳුන්වා දෙන්න? නැහැ.

කිසිම සූදානමක් නැතුව 14 වෙනිදා රෑ 12ට මේක එකපාරටම ක්‍රියාත්මක කළා. අපි දන්න තරමින් තාමත් අමාත්‍යාංශ මට්ටමේ කළමනාකරණ කමිටුවක්වත් පිහිටුවලා නැහැ. මීට පෙර QR ක්‍රමය හඳුන්වා දෙනකොට අතිරේක ලේකම්වරයෙක්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ මට්ටමෙන් කළමනාකරණ කමිටුවක් පත් කළා; ඒ හරහා තමයි සියලු ආයතන සම්බන්ධ වෙලා අවශ්‍ය තීරණ ගත්තේ. අද ඒක නැති නිසා තමයි ගොවි ජනතාව සහ ධීවරයෝ මෙහෙම පීඩා විඳින්නේ.

තාම ජෙනරේටර් පාවිච්චි කරන අයට, ගමේ තනකොළ කපන අහිංසක මනුස්සයාට පවා තෙල් ටික ගන්න QR කේතයක් නැහැ. ඒ අතරතුර අපි දැක්කා ඊයේ පෙරේදා පෙට්‍රල් ලීටර් හතරක් තියාගෙන හිටියයි කියලා අහිංසකයෙක්ව විශාල දඬුවමකට ලක් කරනවා. ආණ්ඩුව ඒ තරම් අසමත්.

අපි ඉල්ලනවා මේ වෙලාවේ මේ අහිංසක ජනයාගේ නාමයෙන්, ඔබට දීර්ඝකාලීන වැඩ කොටස ඉක්මනින් කරන්න බැරි වුණත්, මේ තෙල්වල තියෙන වැට් සහ සෙසු බදු ඉවත් කරන්න. එතකොට තෙල් මිලේ සැලකිය යුතු පංගුවක් අඩු කරන්න පුළුවන්, ඒක ජනතාවට විශාල අස්වැසිල්ලක් වෙයි. තවදුරටත් පමා නොකොට මැතිවරණ කාලේ දීපු පොරොන්දු ඉටු කරලා වැට් එකයි බදුයි අඩු කරලා තෙල් මිල අඩු කරන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

දැන් තෙල් මිල ආයෙත් වැඩි කිරීමක් ගැනත් සාකච්ඡා වෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියනවා ඔක්ටේන් 92 පෙට්‍රල්වලටත් ඔටෝ ඩීසල්වලටත් ආණ්ඩුව විශාල මුදලක් දරනවා කියලා; ඒකෙන් බලන්නේ ඒ දෙකෙත් මිල තවත් වැඩි කරන්නයි. කරුණා කරලා ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙන ප්‍රමාණයට වැට් ගහලා මිනිස්සුන්ගේ බොටුව මිරිකන්න ලෑස්ති වෙන්න එපා. වැට් එක සහ සෙසු බදු අඩු කරලා තෙල් මිල අඩු කරලා මිනිස්සුන්ට සහන දෙන්න කියන යෝජනාව අපි නැවතත් කරනවා.”

Sha

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x