රුසියාවේ තෙල් නොඑන ලකුණු!
1 min read
ශ්‍රී ලංකාවේ බලශක්තිය අර්බුදය විසඳා ගැනීම සඳහා සහාය ලබාදීම පිණිස රුසියාවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා මෙරටට පැමිණීමත් සමග ඒ පිළිබඳ මහජන විශ්වාසය ඉහළ ගොස් තිබේ. එය වඩාත් පිළීබිඹු කරමින්, කිසියම් පුද්ගලයකු විසින් අද(27) දහවල් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපස රුසියාවට ස්තූති කරමින් මල් කළඹක් තබා තිබුණි.

එහෙත් අප කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ රුසියාව සමඟ ඉන්ධන හා පොහොර ලබා ගැනීම සඳහා අවම තරමින් වාර්ෂයක කාලයක් සඳහා බලපාන පරිදි දෙරට අතර ගිවිසුම් ගතවීමක් අවශ්‍යව ඇතත් ශ්‍රී ලංකා රජය එයට මැලිකමක් දක්වා ඇති බවයි.
PJSC ROSNEFT OIL COMPANY යන රුසියානු රාජ්‍ය සමාගම එරට ජාත්‍යන්තර කටයුතු හා වාණිජ දෙපාර්තමේන්තුවේ ද වගකීම සහිතව කල්තබා මෙරට බලධාරීන්ට ඉදිරිපත් කළ යෝජනාව අප සතුවේ. එහි දැක්වෙන පරිදි තමන් ලබාදෙන බලශක්ති ප්‍රභවයන් සඳහා ඇමෙරිකානු ඩොලර් හෝ වෙනත් ගැලපෙන මුදල් ඒකකයක් මගින් ගෙවීම් කළ හැකිව තිබේ. ඒකකයක මිල සම්බන්ධව සම්පූර්ණයෙන් සාකච්ඡාවට විවෘත කර ඇත. එමෙන්ම දිගු කාලීන සැපයුම් ක්‍රියාදාමයක් පිණිස අවම වසරක් සඳහා ද, උපරිම වසර 5ක් සඳහා ද බලපවත්වන ගිවිසුම් ගතවීමක් රුසියාව අපේක්‍ෂා කරන බව එහි දක්වා ඇත.
එමෙන්ම, ගෙවීම් සඳහා මාස 3ක සහන කාලයක් ලබා දීමට ද එසේත් නොවේ නම් ණය පහසුකමක් ලබා දීමට ද මෙම යෝජනාවලිය මගින් ඉහත කී රුසියානු රාජ්‍ය සමාගම යෝජනා කර තිබේ.
එහෙත් ශ්‍රී ලංකා බලධාරීන් වසරක කාලයට බලපැවත්වෙන ගිවිසුම් ගත වීමකට හෝ මැලිකමක් දක්වන බව මේ පිළිබඳ අප කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත. රජයන් දෙක අතර ගිවිසුම් ගතවීම මගින් ඉතා අඩු මිලට ඉන්ධන ලබා ගැනීමේ වාසිය මෙරට ජනතාවට හිමිවන නමුත්, ඉන්ධන ව්‍යාපාරයේ අතරමැදියා ඉවත්වීම මගින් වාසි සලසා ගැනීම වැලකීම මීට හේතු වී තිබේ.
හෙට (28) රුසියානු නියෝජ්‍ය බල ශක්ති ඇමතිවරයා පිටත්ව යාමට පෙර අවසන් තීරණයක් නොගතහොත් රුසියාවේ වාසිදායක යෝජනාව ශ්‍රී ලංකාවට අහිමි වනු ඇත. එමෙන්ම, ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගේ සංචාරය ද නතර කෙරෙනු ඇත.
වින්දන විදුර කුමාර
