July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බදු පදනම පුළුල් කරන්නැයි IMF රජයට දන්වයි..

1 min read

එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ කණ්ඩායමක් 2026 වසරේ ජුනි 24 සිට 30 දින දක්වා කොළඹ සංචාරය කළ අතර, මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය.

සංචාරය අවසානයේ පපාජෝ(ර්)ජියෝ මහතා පහත ප්‍රකාශය නිකුත් කළේය.

“මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපෑම් එල්ල කර ඇත. බලශක්ති මිල ගණන් ඉහළ යෑමත් සමඟ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2026 වසරේ පෙබරවාරි මාසයේ පැවති සියයට 1.6ක අගයේ සිට 2026 වසරේ මැයි මාසය වනවිට සියයට 5.5ක් දක්වා ඉහළ ගියේය. සංචාරක පැමිණීම් මන්දගාමී වූ අතර, දළ ජාත්‍යන්තර සංචිත එක්රැස් කිරීමේ වේගය ද පහත වැටුණි. මීට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දමන ලද අතර සාර්ව විචක්ෂණශීලී පියවර ක්‍රියාත්මක කළේය. රජය විසින් ඉන්ධන, විදුලිය සහ පොහොර සහනාධාර මෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සඳහා මුදල් ආධාර ඇතුළත්, අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කළ තාවකාලික සහන පැකේජයක් හඳුන්වා දෙන ලදී. ගෝලීය අවිනිශ්චිතතා තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය ද, මෑත කාලීනව ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් පහත වැටීම හේතුවෙන් බාහිර පීඩනයන්ගේ බලපෑම යම්තාක් දුරකට සමනය වේ.

ජනප්‍රිය පුවත්  හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩු ජුනි 12 කැඳවීමට නියෝග

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තහවුරු කිරීමට මෙන්ම රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශයේ තිරසරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වේ. 2026 වසරේ දී ලිහිල් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකට යොමු වීමෙන් අනතුරුව සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා 2027 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික ශේෂ ඉලක්කය වෙත නැවත ළඟා වීමට බලධාරීන් කැප වී සිටියි.

බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ හිඟ වියදම් නැවත ඇතිවීම වැළැක්වීම ඇතුළුව රාජ්‍ය මුදල් කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ප්‍රයත්න අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය.

දිට්වා සුළි කුණාටුවෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ යළි ගොඩනැංවීම ඵලදායීව සිදු කිරීම සඳහා ආපදා ආශ්‍රිත ආධාර ඇතුළු ප්‍රතිපාදන වියදම් කිරීමේ දී පවතින ගැටලු නිරාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම සහ පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණය පවත්වාගෙන යෑම වැදගත් වේ. එමෙන්ම, අවදානමට ලක්විය හැකි පවුල් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල නිසි පරිදි ඉලක්කගත කිරීම සහ ඒවායේ ආවරණය ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම කෙරෙහි බලධාරීන් ප්‍රමුඛතාව ලබා දිය යුතුය.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් 19 දෙනා නිරීක්ෂණයට මහේස්ත්‍රාත් CIDයට යයි..

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය එහි අවසන් අදියරට ළඟා වෙමින් පවතින අතර, විචක්ෂණශීලී ණය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, දේශීය ණය වෙළඳපොළ පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවට නැවතත් ක්‍රමයෙන් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට සහාය වීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ආයතනික ධාරිතාව ඉහළ නැංවිය යුතුය.

ඉහළ මට්ටමක පවතින ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ මිල ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය විචක්ෂණශීලී, වෙනස්වන ආර්ථික තත්ත්වයන්‌ට කඩිනමින් හැඩගැසෙන සහ දත්ත මත පදනම් වූවක් විය යුතුය. කම්පන හමුවේ, විදේශ සංචිත එක්රැස් කිරීම්වලට හානියක් නොවන පරිදි බාහිර වෙනස්වීම්වලට සහාය වීම සඳහා විදේශ විනිමය අනුපාතිකය නම්‍යශීලී වීම ඉතා වැදගත් වන අතර, විදේශ විනිමය වෙළෙඳපොළ වෙත සිදු කරන මැදිහත්වීම අධික උච්චාවචනයන් පාලනය කිරීමට පමණක් සීමා විය යුතුය. ගෙවුම් තුලන සීමා ක්‍රමයෙන් ඉවත් කළ යුතුය. මූල්‍ය ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා මෙහෙයුම් අවදානම් කළමනාකරණය, සයිබර් ආරක්ෂණය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධ පියවර ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැංවීමට මෙන්ම ශක්තිමත්, කල් පවතින සහ සියලු දෙනාට ම ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා පාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වේ. එමෙන්ම, බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය වැඩිදියුණු කිරීම, වෙළඳ ප්‍රතිපත්ති ලිහිල්කරණය, ශ්‍රම වෙළඳපොළ ආශ්‍රිතව පවතින අභියෝග අවම කිරීම සඳහා මෙන්ම ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, රැකියා අවස්ථා නිර්මාණය කිරීමට මෙන්ම දරිද්‍රතා අනුපාතිකය පහත දැමීමට හැකිවන පරිදි ව්‍යාපාරික පරිසරය දියුණු කිරීම සඳහා දැඩි ප්‍රතිපත්ති අවශ්‍ය වේ.

ජනප්‍රිය පුවත්  එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ සිටින දක්ෂ මෙන්ම අවංක හැකියාවන් සහිත පුද්ගලයන්ට ඉදිරියේදී රජයේ විවිධ වගකීම් සහ අවස්ථා ලබාදීමට රජය සූදානම් බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ශ්‍රී ලංකාවේ වැඩසටහනෙහි කාර්යසාධනය විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමලෝචනයේ දී විධිමත් ලෙස තක්සේරු කෙරෙනු ඇත. දූත සංචාරය පැවැත්වෙන කාලය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජා.මූ. අරමුදලේ කණ්ඩායම ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සහ අනෙකුත් රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

මෙම දූත මණ්ඩලය පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x