දඩයමේ මනෝ විද්‍යාව
1 min read
බොහෝ දෙනෙක් කියනවා පේනවා මාලිමාව / ජවිපෙ විසින් ඔවුන්ගේ අතීත මිතුරන් පවා දඩයම් කරමින් ඉන්නවා කියලා.
ඒක ඔවුන්ට තේරුම් ගන්න බැහැ. ඔවුන් ඒ ගැන පුදුම වෙලා ඉන්නවා පේනවා.
නමුත් ඒ කාරණාව සමාජ විද්‍යාත්මකයි.
සාමාන්‍යයෙන් ඕනෑම සමාජයක පහල ස්ථරයෙන් ඇවිල්ලා කටු කාලා ඉහළ යන මිනිස්සු ඔබ දැකලා තියෙනවද ?
මේ කියන්නේ ඉහළ ස්ථරයේ ඉපදුණු මිනිස්සු ගැන නෙවෙයි.
එහෙම නැත්නම් දුක් විඳලා බොහෝ කාලයකට පෙර ඉහළ ස්ථරයට ආපු, ඉහළ ස්ථරයේ වැජබෙන මිනිස්සු ගැනත් නෙවෙයි.
ඉතාම පහළ තැනක සිට තවමත් මහන්සියෙන්, කැපවීමෙන් සහ ඉහළ යාමේ එකම පරමාර්ථයෙන් උත්සාහ කරන මිනිස්සු ගැන.
තවමත් ඉනිමගේ මැද ඉන්න මිනිස්සු ගැන.
ඔබ ඔවුන්ගේ චරිත ලක්ෂ අධ්‍යනය කරන්න.
ඔවුන් තමන්ගේ ගමනේ දී හමුවන ඕනෑම අයෙකු තමන්ට බාධාවක් නම් ඔවුන් විනාශ කරන්න පසුබට වෙන්නෙ නැහැ.
ඒ වගේම තමන්ට ඉහළට යාමට ඕනෑම කෙනෙකු පාවිච්චි කිරීමට සහ පාවා දීමට දෙවරක් හිතන්නෙ නැහැ.
ඔවුන්ට සැබෑ මිතුරන් නැහැ. ඔවුන් දැඩි ආත්මාර්තකාමීයි.
ඔවුන් “සෝෂල් ක්ලයිම්බර්ස්” ලා. එනම් අද ඇසුරු කරන අයට වඩා උසස් යැයි හිතෙන පුද්ගලයන් හෙට හමුවුනොත් ඔවුන් අද ඇසුරු කරන පිරිස අතාරිනවා.
ඒක ඔවුන්ගේ වරදක් නොවෙයි. ඔවුන් දුක් විඳලා තියෙනවා. ඉහළ ස්ථරයේ සැප පිළිබඳ දන්නවා.
ඔවුන්ට දැන් තිබෙන්නේ ඉහළ ස්ථරයට යෑමේ නොතිත් ආශාවක්.
ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම කන්දක් තරණය කරනවා. ඕනෑම මුහුදක් දෙබෑ කිරීමට සුදානම්. ඕනෑම අයෙකු සමට සටන් කිරීමට සුදානම්.
ඔවුන් මෙහෙයවන්නේ පෙර කී නොතිත් ආශාව විසින්. ඔවුන්ට ඉහළ ස්ථරයට යන තුරු නින්ද යන්නෙ නැහැ. ඔවුන් නිවුනු මිනිස්සු නෙවෙයි. අභ්‍යන්තර ගින්නක් විසින් දැවෙන මිනිස්සු.
ඔවුන්ට සංස්කෘතියක් නැහැ. සදාචාර සීමාවක් නැහැ. ඔවුන්ට වැදගත් සිය ඉලක්කය පමණයි.
මා මේ කියන්නේ ඔවුන්ගේ වරදක් නොවෙයි. එය වරදක් ලෙස මා නොදකින බවත් කිවයුතුයි. මා මේ ඉදිරිපත් කරන්නේ විශ්ලේෂනයක් පමණයි.
මේ ගැන අපූරු ඉංග්‍රීසි චිත්‍රපටයක් තියෙනවා, ජේක් ජිලන්හෝල් රඟපාන Nightcrawler.
එහි කථානායකයා අප කියනා ජාතියේ පුද්ගලයෙක්. ඔබ ඒ චිත්‍රපටය නරඹා නැත්නම් නරඹන්න.
අනෙක් පැත්තට ඉහළ ස්ථරයට ලඟා වී කාලයක් ගත වූවාට පසුව සහ ඉහළ ස්ථරයේම ඉපදි සිටින මිනිසුන්ට සදාචාර පද්ධතියක් අවශ්‍ය වෙනවා.
ඔවුන්ට දැන් ආර්ථික සටනක් නැහැ. ඔවුන්ට තියෙන්නේ වෙනත් ප්‍රශ්න. ඒවා සදාචාරාත්මක සහ දාර්ශනික ගැටලු.
ඔවුන්ට ආර්ථිකමය ඉන්සෙකියුරිටීස් නැහැ. ඔවුන්ට දරුවන්ගේ අනාගතය ගැන බියක් නැහැ.
තවදුරටත් ඔවුන්ගේ දෑස් දැල්වෙන්නෙ නැහැ.
එම නිසා ඔවුන් සදාචාරාත්මක සීමා, සංස්කෘතික බැඳීම්, ආදරය, සීමා ආදිය විශ්වාස කරනවා.
ඒවාට වැඩිබරක් දෙනවා.
ඔබ ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් අධ්‍යනය කරන්න.
ඔවුන් ආර්ථික දියුණුව ලඟා කරගැනීමට පෙර මෘගයන් සේ හැසිරුණා.
ඔවුන් වහලුන් ලඟ තබාගත්තා. ඉඩම් මංකොල්ල කෑමට ප්‍රජාවන් සමූල ඝාතනය කළා. රටවල් මංකොල්ල කෑවා. දරුවන් පවා ඝාතනය කළා.
ඒ මංකොල්ලයෙන් අදාල රටවල් ආර්ථික දියුණුව ලඟාකරගත්තා.
ඉන්පසුව ඒ රටවලම බිහි වූ පසු පරම්පරාවන්, තමන්ගේ මුතුන් මිත්තන් රකුසන් සේ දැක්කා.
එකම ප්‍රජාවක්. නමුත් සිතුවිලි ධාරාවන් දෙකක්.
ඔවුන් වහල් සේවය අහෝසි කළා. මානව හිමිකම් හඳුන්වා දුන්නා. යටත් විජිත ගැන ලැජ්ජා වුණා.
කොටින්ම ඇමෙරිකාවේ අලුත් තරුණ ප්‍රජාව, වහලුන් ලඟ තබා ගත් සිය ජාතික වීරයන්ගේ පිළිම පවා විනාශ කළා.
ආර්ථික දියුණුව ලඟා කරගත් පසු, ආර්ථික ස්ථාවරත්වය උදා වූ පසු මිනිසුන් ශිෂ්ඨ වෙනවා. සදාචාරාත්මක සීමා පැමිණෙනවා.
එයට පෙර ඔවුන් මෘගයන්.
දෙවන ලෝක යුද්ධයේ ආර්ථිකමය අතින් කඩා වැටී සිටි ජර්මානුවන් නාසීන් කිරීමට පහසු වුණා.
ඒ ජර්මානුවන්ම පසුව නාසිවාදය පිලිකෙව් කළා.
මේ සමාජ විද්‍යාත්මක සත්‍යය ඔබ ලාංකේය දේශපාලනයට ආදේශ කරන්න.
මූලිකවම සජබ / එජාප කඳවුර මෙරට එක කඳවුරක්.
ඊලගට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇසුරේ බිහි වූ කඳවුර තවත් එකක්.
මේ කඳවුරු මෑතක සිට දේශපාලනය කළාට ඔවුන් මරාගත්තේ නැහැ. ප්‍රතිවාදීන් දඩයම් කළේ නැහැ.
ඔවුන් මිතුරන් ආරක්ෂා කළා.
ඒ ගුණය ජනතාව අතරේ විවේචනයට පවා ලක්වුණා.
මන්ද, කාලයක් තිස්සේ රට පාලනය කරමින් කෙසේ හෝ ඔවුන් සමාජයේ ඉහළ ස්ථරයට පැමිණි දේශපාලන බලවේග දෙකක්.
මේ බලවේග දෙකම ‘ප්‍රභුත්වය’ ලඟා කරගත්තා.
ඔවුන් සංස්කෘතියි. ඔවුන්ට සදාචාරාත්මක සීමා තිබෙනවා.
ඔවුන්ට ආරක්ෂා කර ගැනීමට පවුල්, දේපළ තිබුනා. ඔවුන් ප්‍රතිවාදීන් දෙස ද්‍රෝහින් ලෙස බැලුවේ නැහැ.
එම නිසා මේ දෙපිරිස දේශපාලනය කළත්, රංජන් රාමනායක විසින් ඔහුගේ බුද්ධියට අනූකුලව කියවා ගත් පරිදි සංස්කෘතිමය ‘යාලුවො’ වුණා.
ඔවුන් එකිනෙකා සීමාවක දි ආරක්ෂා කළා.
නමුත් ජවිපෙ වෙනස්.
ඔවුන් එන්නේ සමාජයේ පහළම ස්ථරයෙන්.
ඔවුන්ට බලය ලබා ගන්න අවුරුදු පනහක් කටු කන්න වුණා.
ඉහළ ස්ථරයේ සිටින දෙපිරිසට යූස් වෙන්න වුණා.
ඔවුන් බලය ලබා ගන්නේ විශාල දේශපාලන අහම්බයකින්.
දැන් ඔවුන් ඉහළ ස්ථරයේ පහස විඳිමින් සිටිනවා.
නමුත් තවමත් ඔවුන් ඉහළ ස්ථරයේ ස්ථිර සාමාජිකයන් වී නැහැ. මේ ඔවුන් නොතිත් කැපවීමෙන් ඉහළ ස්ථරයට ගමන් කරමින් සිටිනා සංක්‍රාන්ති කාලය.
ඉතින් ඔවුන්ට සදාචාරාත්මක සීමා නැහැ. සංස්කෘතිකමය හර පද්ධති නැහැ. ටිරාන් අලස් වැනි ඉතා විශේෂ කිහිපදෙනෙකු හැරුනු කොට කපා දැමිය නොහැකි මිතුරන් නැහැ.
ඔවුන්ගේ ගමන වෙනුවෙන් ඔවුන්ට ඕනෑම අයෙකු පාවා දිය හැකියි. ඕනෑම අයෙකු විනාශ කර දැමිය හැකියි.
දැන් ඔවුන් සිටින්නේ නොතිත් ආශාවෙන්, දැල්වෙන දෑස් සහිතව, එකම අරමුණකින් ඉහළටම ගමන් කරනා ගමනේ.
මේ ගමනේ දි ඔවුන්ට හමුවන ඕනෑම බාධාවක් ඔවුන් විනාශ කරනවා.
ජවිපෙ මිතුරන් පවා දඩයම් කරනවා යැයි ඇතැමෙකුට පෙනෙන්නේ ඒකයි.
“කිසිම ක්ලාස් එකක් නැති මිනිස්සු” කියලා සමහරු කියන්නේ ඒකයි.
නමුත් ඇත්තටම “ක්ලාස් එක” එන්නේ ඉහළ ස්ථරයේ ස්ථිර සාමාජිකයන් වුණාට පස්සෙ.
යම් දවසක ජවිපෙත් දේශපාලනයේ මිතුරන් ඉන්න, යාලුවො ආරක්ෂා කරන, පළිගැනීම් නොකරන, ශිෂ්ඨ බලවේගයක් වෙනවා.
හැබැයි ඒ පරිවර්තනය වෙන්නේ අඩුම තරමේ අවුරුදු හත, අටක් බලය භුක්ති වින්දට පස්සේ.
එදාට හඳුන්ලගේ, ලාල්කාන්තලාගේ, වසන්තලාගේ දරුවොත් ‘බේබිලා’.
එදාට ජවිපෙත් ප්‍රභූ දේශපාලන බලවේයක්. එතෙක් ඔවුන්ට පාවා නොදිය හැකි මිතුරෙකු නැහැ.
- Sachin Rathwatte –
