June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල් ජෙප්පෝ

1 min read

(මම මේ විෂයයට අදාළව ලියන ලිපිවල “ජෙප්පෝ” කියලා කියන්නේ “ජවිපෙ මානසිකත්වය” සහ “ජවිපෙ භාවිතාව” ඉස්සරහට දාලා වැඩ කරන පිරිසක් හඳුන්වන්න. මම කියන මේ “ජෙප්පෝ” ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ වෙන්නත් පුළුවන්. එයින් බාහිර පිරිසක් වෙන්නත් පුළුවන්. ඇත්තෙන්ම, දැන් ජවිපෙට විරුද්ධ සැළැකිය යුතු පිරිසකුත් “ජෙප්පෝ” කියලා හඳුන්වන්න පුළුවන්. කෙනෙක් “ජෙප්පෙක්” වෙන්නේ ක්‍රියාකාරීත්වයෙන් මිසක් සාමාජිකත්වයෙන් නෙවෙයි. “න ජච්චා වසලො හොති – න ජච්චා හොති බ්‍රාහ්මණො, කම්මනා වසලො හොති – කම්මනා හොති බ්‍රාහ්මණො” – වසල සූත්‍රය)

අද මම කියන්නේ “ගල් ජෙප්පෝ” ගැන. ජෙප්පෝ තමන්ට අවනත නැති වාමාංශිකයන්ට ගල්වලින් ගහනවා. මේ වෙනුවෙන් නිතර යොදාගන්න ගල් ගෙඩි කීපයක් තියෙනවා. ඒ අතර එකක් තමයි “සුළු ධනේශ්වරයා” කියලා තමන්ට එකඟ නැති වාමාංශිකයාව හංවඩු ගැහීම. ඊට අමතරව, ජෙප්පෝ තමන්ට අවනත නැති වාමාංශිකයන්ට “අවස්ථාවාදියා” කියන ගල් ගෙඩියෙනුත් ගහනවා.

“සුළු ධනේශ්වර” කතාව තරමක් විස්තර කියන්න ඕන කාරණයක්. ඒ හින්දා, ඒක පස්සේ කියන්නම්. මම මේ ලිපියෙන් “අවස්ථාවාදියා” කියන ගල් ගෙඩිය ගැන විතරක් කියන්නම්.

මූලික විදිහට සැළැකුවොත්, කෙටි කාලීන දේශපාලන සහ වෙනත් වාසි වෙනුවෙන් දිගු කාලීන විප්ලවීය අරමුණු පාවාදෙන අය තමයි මාක්ස්වාදී ව්‍යාපාරවල “අවස්ථාවාදියා” කියලා හඳුන්වන්නේ. මෙහෙම අවස්ථාවාදියෝ පවතින ධනපති ක්‍රමයට අනුගතවෙනවා. මේ සූරාකෑමේ බලහත්කාරය අවසන් කරලා අවසාන විමුක්තිය උදා කරගැනීම වෙනුවෙන් වැඩ නො කර පුංචි පුංචි “ජයග්‍රහණ” (ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි කරගැනීම්, සේවා කොන්දේසි වෙනස් කරගැනීම් වගේ ඒවා) උස්සලා පෙන්නලා ඒ මාර්ගයෙන් තමන්ගේ කෙටි කාලීන, පුද්ගලික වැඩ කරගන්න අවස්ථාවාදියා කැපවෙනවා. තමන්ගේ වාසිය වෙනුවෙන් ශ්‍රමිකයන්ගේ පරම අභිලාසයන් “විකිණීමක්” විදිහටයි මේ “ජයග්‍රාහී කරණම්” හැඳින්වෙන්නේ.

තමන්ගේ කෙටි කාලීන, පුද්ගලික අරමුණු වෙනුවෙන් “පන්ති හවුලක්” ඇති කරගැනීමේ උවමනාව තමයි අවස්ථාව‍ාදයේ මුලින් ම තියෙන්නේ. ඒ කියන්නේ, තමන්ගේ කෙටි කාලීන දේශපාලනික සහ වෙනත් (බොහෝ විට, ආර්ථික) අරමුණුවෙන් ධනපති පන්තිය සහ අධිරාජ්‍යවාදී බලවේග එක්ක හවුලක් හදාගන්න අවස්ථාවාදියෝ කටයුතු කරනවා. “මේ වෙලාවේ මෙහෙම කරනවා ඇරෙන්න වෙනත් විකල්පයක් තියෙනවා ද?” කියලා අහලා අවස්ථාවාදියෝ තමන්ගේ හවුල් ගනුදෙනුව සාධාරණීකරණය කරනවා. ඒ වගේ ම, ධපතියන්ට පහරදෙන අයට ප්‍රතිප්‍රහාර එල්ල කරන කුලී බල ඇණියක් විදිහටත් අවස්ථාවාදියෝ කටයුතු කරනවා. ධනපතියෝ මෙහෙම බුරන, හපාකන අවස්ථාවාදී කුලීකාරයන්ට සංතෝෂම් ලබාදෙනවා.
ධනපති ක්‍රමයත් එක්ක අනුගත වෙලා සමාජ විප්ලවයක් කරන්න බෑ. (සමාජ විප්ලවයක් කියන්නේ එක සැරේ ම කැති පිහි ඇරැගෙන එළියට පැනලා දිවි නසාගන්න තකතීරු ගොන් පාට් එකක් නම් නෙවෙයි. විප්ලවයක් කියන්නේ රතු ෂර්ට් ඇඳගෙන, තොප්පි දාගෙන, එක විදිහකට රැවුල වවාගෙන, අහුලගත්ත මතවාදී කෑලි ජප කර කර කරන රැඟිල්ලකුත් නෙවෙයි). අඩු පිළිගැනීමක් තියෙන, වැඩි විප්ලව විරෝධී ප්‍රොපගැන්ඩාවක් ක්‍රියාත්මක වෙන, ලොකු මර්දනයක් තියෙන සමාජයක විප්ලවවාදියා තමන්ගේ විප්ලවීය කාර්යයට අදාළ මාර්ග හොයාගන්නවා. ඒ මාර්ගවල ඉස්සරහට යන උපක්‍රම හඳුනාගන්නවා. ඒ මාර්ග සහ උපක්‍රම විස්තර කරපු පොත් නෑ.

ජනප්‍රිය පුවත්  කොළඹ ෂැම්පේන් සමාජවාදීන්! පෙන්ට්හවුස් මහල් නිවාසවල සිට සමානාත්මතාවය දේශනා කිරීම

අවස්ථාවාදියා බොහොම පහසුවෙන් සමාජයේ රජ කරන ධනපති ආයතනත් එක්ක අනුගතවෙනවා. ධනපති පාර්ලිමේන්තු ක්‍රමය හරහා හැම දෙයක් ම කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ අනුගතවීම වෙනුවෙන් සල්ලි ඕන කියලා තේරුම්ගත්තාම අවස්ථාවාදියා තමන්ගේ දේශපාලනය මුදලට විකුණනවා. බොහොම ලේසියෙන් ම, ධනපතියන්ගේ (අධිරාජ්‍යවාදීන්ගේ) කුලීකාර අතකොළුවක් බවට පත්වෙනවා. තමන්ගේ ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා ධනපතියා (අධිරාජ්‍යවාදියා) අල්ලස් දෙන බව, සංතෝෂම් දෙන බව ලෙනින් කියලා තියෙනවා.

තමන්ගේ පාදඩ පාවාදීම වහගන්න අවස්ථාවාදියා තමන් හුඟක් “රතුයි” කියලා පෙන්නනවා. මේ ප්‍රදර්ශනය වෙනුවෙන් අවස්ථාවාදියා රතු ෂර්ට් අඳිනවා, තොප්පි දානවා, රැවුල වවනවා (ඊට පස්සේ ඒක එක හැඩයකට කපනවා) විතරක් නෙවෙයි පුළුවන් නම් පච්චයකුත් ගහ ගන්නවා. අවස්ථාවාදියෝ අධිරාජ්‍යවාදී බලවේග විසින් තමන්ගේ කුලීකාරයෝ යොදවලා විප්ලවාදී ජවයක් තියෙන තරුණයෝ කුලප්පු කරවීම වෙනුවෙන් ප්‍රබන්ධ කරලා ප්‍රචාරය කරපු “හුළං සින්දු” (බොරු විරෝධතා සින්දු) අස්සෙත් හැංගෙනවා.

තමන්ගේ හෙළුව වහගන්න නම් මාක්ස්වාදී කෑලි අහුලලා හදාගත්ත මන්තර ජප කරන්න ඕන බවත් අවස්ථාවාදියා දන්නවා. ඉතින් උන් ධනපතියන්ට පඩික්කම් අල්ලන ගමන් කිසිම විලිලැජ්ජාවක් නැතුව “පන්ති අරගලය” වගේ මාක්ස්වාදී න්‍යායික නිර්දේශ උස්ස උස්ස පෙන්නන්න පටන්ගන්නවා.
වාමාංශික ව්‍යාපාරවල මේ විදිහට ඉස්සරහට එන අවස්ථාවාදය “වාමාංශික” සහ “දක්‍ෂිණාංශික” කියලා වර්ග කරලා හඳුනාගැනීමකුත් සිද්දවෙනවා.

ජනප්‍රිය පුවත්  දෙමළාගෙන් ආතල් ගැනීම

උඩින් කියපු විදිහට ධනපති පන්තිය එක්ක හවුල් හදන, ධනපති ක්‍රමය එක්ක හොඳින් අනුගත වෙන අයට තමයි “දක්‍ෂිණාංශික අවස්ථාවාදියෝ” කියලා කියන්නේ.

දෛනික දේශපාලන කාර්යයන්ගේ අවශ්‍යතාව නො සළකා ඇරලා “අවසාන විප්ලව දිනය” උදාවෙන කල් බලාගෙන ඉන්න අයට තමයි “වාම අවස්ථාවාදියෝ” කියලා කියන්නේ. මෙහෙම අවස්ථාවාදියෝ බිමේ ස්වභාවය නො සළකා හරිනවා. සංවිධානයේ ශක්තිය වැඩි කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන් ම කරන්න ඕන ප්‍රායෝගික කටයුතුවලින් ඈත්වෙනවා. එහෙමත් නැතිනම්, දීර්ඝ කාලීන අරමුණු වෙනුවෙන් දෛනික ප්‍රායෝගික කටයුතුවල නිරතවෙන අය තමන්ගේ දේශපාලන සංවිධානයෙන් පළවා හරිනවා.

ධනපතියන්ට දක්‍ෂිණාංශික අවස්ථාවාදියෝ යොදවලා වාම අවස්ථාවාදීන්ව කඩේ යවන්නත් පුළුවන්. “සහෝදරයා, ඔයා තමයි නියම විප්ලවවාදියා” කියලා සන්තෝෂමක් අතට දුන්නාම සමහර වාම අවස්ථාවාදියෝ ගින්දර වගේ සැර විප්ලවවාදී වගාලංකාර මතුර මතුර සංවිධානයේ දිගු කාලීන අරමුණු වෙනුවෙන් වැඩ කරන තමන්ගේ ම අයට පහරදෙනවා. ඒ වගේ ම, උන් කිසිම පැකිලීමක් නැතුව මදුරුවන්ටත් පෙට්‍රල් බෝම්බවලින් ගහනවා.
තමන්ගේ කෙටි කාලීන අරමුණු වෙනුවෙන් මාක්ස් – ලෙනින්වාදී මූලධර්ම සහ න්‍යාය සංශෝධනය කිරීමත් අවස්ථාවාදයක් විදිහට සැළැකෙනවා. “සංශෝධනවාදී අවස්ථාවාදය” කියලා හඳුන්වන මේ වැඩේ කිසිම විදිහකින් මාක්ස් – ලෙනින්වාදය පෝෂණය කිරීමක් නම් නෙවෙයි.

මාක්ස් – ලෙනින්වාදය කියන්නේ මුලින් හඳුන්වා දීපු විදිහට ම ගල් ගස්සලා තියාගන්න ඕන විප්ලවවාදී දැනුම් පද්ධතියක් නෙවෙයි. මාක්ස්වාදයේ චරණය (භාවිතාව) දැනුමෙනුත්, දැනුම චරණයෙනුත් පෝෂණය වෙනවා. ඉතින් යාන්ත්‍රික භෞතිකවාදයේ වගේ දැනුම අසත්‍යකරණය කරනවා වගේ මාක්ස්වාදී දැනුම අසත්‍යකරණය කරන්න බෑ. මූලධර්ම සහ මූලික න්‍යාය මත පදනම් වෙලා එක දිගට ම වර්ධනය වෙන දැනුමක් කිසිම විදිහකින් බොරු කරන්න බෑ. මාක්ස්වාදය බොරුවක් බවට පත්වෙන්නේ ඒ විප්ලවවාදී දැනුම භූමියේ තත්ත්වයන් එක්ක ගලප්පලා චරණය හදාගන්නේ නැතිනම් විතරයි.

ජනප්‍රිය පුවත්  ඩොලර් මිලියන 2.5 හොරාකාලා රංගව පැටලෙව්ව හැටි!

“සංශෝධනවාදී අවස්ථාවාදය” කියන්නේ මාක්ස්වාදී විප්ලවවාදී දැනුම පෝෂණය කරන්නක් නෙවෙයි. ඒ වෙනුවට, “සංශෝධනවාදය” වෙනුවෙන් මාක්ස් – ලෙනින්වාදයේ විප්ලවීය ජවය මොට කරනවා. ඒ මාර්ගයෙන් අවස්ථාවාදියා තමන්ගේ කෙටි කාලීන අරමුණු “න්‍යායිකව” සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා.

දිගු කාලීන, පොදු අරමුණු වෙනුවෙන් මාක්ස් – ලෙනින්වාදී සංවිධාන පන්ති හවුල් හදාගැනීම අවස්ථාවාදයක් නෙවෙයි. චීන පොදු නිෂ්පාදන පක්‍ෂය අවස්ථා දෙකක දී කුඕ-මින්-තං පක්‍ෂයත් එක්ක හවුල් හදාගත්තා. ඒවාට කියන්නේ “ජාතික – පොදු හවුල්” කියලා. “දෙවැනි ජාතික – පොදු හවුල” ක්‍රියාත්මක වෙන කාලයේ දී, රතු හමුදාවේ සෙබළු කුඕ-මින්-තං හමුදාවේ නිල ඇඳුම් පවා ඇන්දා. ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙච්ච ජපන් ආක්‍රමණයට විරුද්ධව සටන් කරන්න නම් එහෙම පන්ති හවුලක් හදාගන්න ඕන. දෙවැනි ලෝක මහ යුද්ධය කාලයේ දී, සෝවියට් දේශය අධිරාජ්‍යවාදී බලවේග එක්ක හවුලක් හදාගැනීමත් එහෙම වැඩක්. ඒ හවුල් හදාගත්තේ දිගු කාලීන, පොදු අරමුණු වෙනුවෙන් මිසක් කෙටි කාලීන, පුද්ගලික අරමුණු වෙනුවෙන් නෙවෙයි.

කාර්මික විප්ලවය සිද්දවෙලා නැති, කම්කරු පන්තියක් තියා හරි හමන් ධනපති පන්තියක්වත් ඇතිවෙලා නැති යටත්විජිත රටවල්වල ජාතික විමුක්ති අරගලය කරන්න සියලු පාර්ශ්ව එකතුවෙන්න ඕන කියලා ලෙනින් කියලා තියෙනවා. ඒක අවස්ථාවාදී නිර්දේශයක් නෙවෙයි.

ගල් ජෙප්පෝ මේ කරුණු කාරණා ගැන වදවෙන්නේ නෑ. උන්ට ඕන තමන්ට අනුගත වෙන්නේ නැති අයට ගල්වලින් ගහන්න විතරයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x