උද්දච්ඡකම නිසා මාර්ග සංවර්ධනේ ඇන හිටී !
1 min read
අමාත්‍ය බිමල් රත්නායක විසින් පත්කර තිබෙන මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇමැතිගේ උවමනාව මත සිදු කරන ක්‍රියාකලාපය හේතුකොටගෙන එම ආයතනයේ සියළුම ඉංජිනේරුවන් වැඩ වර්ජනයක නිරතව සිටිති.
ඒ අනුව, මා.සං.අ. පණතට අයත් නොවන සියළුම බාහිර මාර්ග සංවර්ධන ක්‍රියාවලියෙන් 100% ක්ම ඉවත්වීම, සියළුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් මුළුමනින්ම වර්ජනය කිරීම ඒ අනුව සිදුකරමින් ඇත.
මෙම ඉංජිනේරු වර්ජනයට හේතු වී ඇත්තේ එම ආයතනයේ සේවය කරනු ලබන ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා මහාභාණ්ඩාගාර නිලධාරින් සමග එකඟව සකස් කර ඇති යෝජනාව, ඇමතිගේ උපදෙස් මත සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් නොකර මඟ හැර සිටීමය. එසේ කිරීමට හේතු පැහැදිලි කිරීමක් හෝ සභාපතිවරයා විසින් සිදුකරන්නේ නැතැයි මා.ස.අ. යේ සේවය කරන ඉංජිනේරුවෝ පවසති.
මෙම වැටුප් හිඟබව මත පසුගිය වසර 4 ක පමන කාලය තුළ එම ආයතනයේ සේවය කළ දක්ෂ ඉංජිනේරුවන් 200 කට අධික පිරිසක් ආයතනය හැර දමා ගොස් තිබේ. පෙර පැවැති 700 ක පමණ ඉංජිනේරුවන් ප්‍රමාණය මේ වන විට 500 ටත් වඩා අඩු අගයකට පහල බැස තිබේ. දිට්වා ආපදාවට ලක් වූ මාර්ග සංවර්ධනය ඇන හිටීමද මෙම තත්වය බලපා තිබේ.
පසුගිය 11 වැනිදා අරඹන ලද ඉංජිනේරු වර්ජනය පිළිබඳව ඇමතිවරයා හෝ කිසිදු විමසාබැලීමක් නොකරන බව මා.ස.අ. ඉංජිනේරුවෝ පවසති. සභාපතිවරයා කිසිදු හේතු පැහැදිලිකිරීමකින් තොරව, ඉංජිනේරු වැටුප් ඉහළ දැමීමේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව හංගාගෙන ඉන්නේ ඇමැති බිමල්ගේ නියෝගය පරිදි බව අප වෙත වාර්තා වී තිබේ.
- වජිරා අමුණුගම –
