අන්තවාදී ක්‍රියා ගැන බුද්ධි වාර්තා ශානි – රවී නිලධාරීන්ට ලබා දී නෑ | පෙත්සම් විභාගයේදී සුරේෂ් සලේගේ නීතිඥවරයා අධිකරණයට කියයි
1 min read
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ(10) යළි සලකා බැලීය.
පෙත්සම කැඳවූ අවස්ථාවේ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පැවසුවේ සහරාන් හෂීම් විසින් ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා වූ සිය සැලැස්ම 2018 වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙන බව ජනක් ද සිල්වා කොමිසම හමුවේ අනාවරණය වී තිබෙන බවයි.
මහනුවර ඇසළ පෙරහැරට ප්‍රහාරයක් එල්ල කර සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීම ඔහුගේ අරමුණ වූ බවද ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
2019 ජනවාරි මස 25 වනදා සිට අප්‍රේල් මස 20 වනදා දක්වා සහරාන් හෂීම් ඇතුළු තව්හීද් ජමාත් සංවිධානය සිදුකළ සහ සිදුකිරීමට නියමිත අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිවරයාට වාර්තා යොමු කර තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.
එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කර ඇති බවත්, එහෙත් ඒවා වැළැක්වීමට ඔවුන් කිසිම පියවරක් නොගත් බවත් එහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කර ඇත.
ඔවුන් එම වාර්තා අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන සිදු කරන නිලධාරීන්ටද ලබාදී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ වාසල තන්ත්‍රිගේ ඩයස් පද්මසිරි නමැති නිලධාරීයා ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා හෙළිකරයි
