හාල් !
1 min read
මේ තියෙන්නෙ හාල් ය. හාල් කන්නෙ බත් බවට පෙරලාය. වී බිහි වු පසු ලැබන්නෙ හාල්ය. වී බිහි කරන්නෙ ගොවියාය. බී.ඩී. සරත්ට අනුව කසිප්පු බොන ගොවියාය. අද ගොවියා ඉන්නෙ කුඹුරෙ නොවේය. ඒකා පුතා ඉන්නෙ මහ පාරේය. ඒ ගොවි පුත්තු ගත්තු බලයේ රඟ වැඩිය ම දැනී ඇත්තෙ ගොවියාට නිසාය.
ජනපති අනුරද කෘෂිකර්ම ඇමති ලාල් ද, වෙළඳ ඇමති වසන්ත ද කටවහක් ඇස්වහක් නෑ ඔරිජිනල් ගොවි පුත්තුය. දැන් ඒ ගොවි පුත්තු වී ගොවියාට අරින්නෙ හොදම එකෙන්ය. වී ටික නෙලා ගත් ගොවියා බඩේ බත් නොමැතිව හොඳට ම වැලපෙන්නේ දැන්ය. ගොවියාට අනුව ඔවුන්ගේ වැලපීම නිම වෙන්නෙ මේ ගොවි පුත්තුගේ දේශපාලන බලය වැලලුණු දාටය.
2024 දෙසැම්බර් සිට 2025 ජනවාරි දක්වා පමණක් ගොවි පුත්තු කරවන ආණ්ඩුව (පෞද්ගලික අංශයත් සහිතව) සහල් මෙට්‍රික්ටොන් 115000 ට වඩා ආනයනය කර තිබේ. රතු කැකුළු සහල් මෙට්‍රික් ටොන් 45,000ක් ද, තම්බපු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ද ඒ අතර වේ.
2026 අප්‍රේල් මැයි අතරතුර කාලයේද ඕනෑම ආනයනකරුවෙකුට උපරිම වශයෙන් මෙට්‍රික්ටොන් 1,040 බැගින් සහල් ආනයනය කරන්නට අවසර දුන්නේ ගොවි පුත්තු වැඩ සිටින කැබිනෙට්ටුව විසින්ය. ගොවි පුත්තුන්ගේ හුණ්ඩුවේ මහ බැංකුව නිකුත් කර ඇති නවතම වාර්තාවන්ට අනුව, 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ සහල් ආනයන ප්‍රමාණය 40.7%කින් ඉහල ගොස් තිබේ. 2024 දී සහල් ආනයනය කලේ මෙට්‍රික්ටොන් 131,338 ක් වුවද එයින් අධෛර්යයට පත් නොවූ අපගේ ගොවි පුත්තු 2025 දී සහල් මෙට්‍රික්ටොන් 184,750 ක් මෙරටට ආනයනය කරන ලදී. ඒ සඳහා ඩොලරයේ හිඟයෙන් ඇට්ට කුනා වූ ආර්ථිකයට හිමිකම් කියන රටෙන්, වැයකර ඇති ඇමරිකානු ඩොලර් අගය මිලියන 103.5කි. මෙහෙවූ කෙළියක් කරන ලද්දෙ 2025 වසරේදී දේශීය වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් ලක්ෂ 50 ඉක්මවා (7.6%කින්) වර්ධනය වී තිබෙද්දීත් ය.
2024 දෙසැම්බර් සිට මේ දක්වා වත්මන් ගොවි පුත්තුන්ගේ පාලනය යටතේ ආනයනය කර තිබෙන සමස්ථ සහල් තොගයෙන් 69%ක් ම ගෙනැවිත් ගොඩගසා ගත්තේ මෙරට පුද්ගලික හාල් මෝල් හිමියන්ය. එනම්, සහල් මෙට්‍ර්ක්ටොන් 1,15,000ක් ඉක්මවන තොගයක් පුද්ගලික අංශය විසින් පමණක් ගෙන එන ලද බවය.
එමගින් පාරිභෝගිකයාට සහල් සාධාරණ මිලකට ලැබී තිබේද? ගොවියාට සිදුව ඇත්තේ රුපියල් 100 න් පහල ඇති මිලකට වී ටික විකුණන්නටය. මේ දුක කියන්නට ගොවියෝ පාරට බැස්ස විට බී.ඩී.සරත්ලා කියන්නෙ උන් ඉන්නෙ කසිප්පු ගහලා කියාය. මුන්ගේ කටේ දත්ටික බඩට බස්සන්න එකෙක් නැති එක අද පවතින ලොකුම අඩු පාඩුවය.
ඩඩ්ලිට මේ තරම් හොඳ ආණ්ඩුවක් උන්දැගෙ අයියගෙ කාලෙදිවත් ලැබුනේ නැත. ඔහු සතුව පවතින මෙට්‍රිික්ටොන් 85,000-90,000 තරමේ වී ගබඩා කල හැකි Silos 20කට අධික ප්‍රමාණය දැන් ඇත්තෙ පිරී ඉතිරි ගිහින්ය.
නිව් රත්න සහල් හිමි මිත්‍රපාල ලොක්කා ද ඉන්නෙ පට්ට චූන් වෙලාය. චූන් එක වැඩි වූ විටක ඔහු ප්‍රසිද්ධියේ ම කියා සිටියේ අනුර කුමාර මීට අවුරුදු 10ට පෙර රජ වූවා නම් රට තියෙන්නෙ පට්ට පදිරි තැනක කියාය. මිත්‍රපාලට එහෙම හිතෙන එක සාධාරණය. පොලොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 200 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති ඔහුගේ සහල් ගබඩාවේ මෙට්‍රික් ටොන්50,000 ක ධාරිතාව අද ඇත්තේ පිරී ඉතිරී ගොස්ය. නිපුන සහල් හිමි කරු සිරිපාල තම සතුට මිත්‍රපාල සේ පළ නොකලාට ඔහුගේ මෙට්‍රික් ටොන් 50,000 ක් පමණ වන ගබඩා ධාරිතාවය දැන් ඇත්තෙ සපුරාගෙනය. වී මිල දී ගැනීමේ හා සහල් ව්‍යාපාරයේ යෙදෙන සෙස්සෝ ඉන්නේත් එසේමය.
ලංකාවේ මිනිස්සු දෛනිකව සහල් මෙට්‍රික්ටොන් 6500ක් පමණ ආහාරයට ගනිති. ප්‍රධාන වී මෝල් හිමියන් 4-5 දෙනා සතුව එකාබද්ධ වීගබඩා ධාරිතාවය මෙට්‍රික්ටොන් 200,000 ඉක්මවා පවතී. අස්වනු නොලැබෙන කාලවල මිනිස්සුන්ට හාල් ගන්න වෙන්නේ ඒ හතර පස්දෙනා තීරණය කරන මිලටය. රෙද්දෙ රෙවුනාම ජනාධිපති ගොවි පුතාට කල හැක්කේ මේසයට හයියෙන් තට්ටුවක් දැමීම පමණි. තඹුත්තේගමින් බිහි වූ අනෙක් ගොවි පුතා වූ වසන්ත සමරසිංහ කරන්නෙ අතීශාරයට “පාලන මිල“ නැමැති අමුඩය තද කර ගැනීම පමණි.
උන්දැලා ඒවා කරද්දී පාරිභෝගිකයෝත් වී ගොවියෝත් එකට වැළපෙති. වැළපෙන මිනිස්සු වැලලෙනතුරු නල්ලමලේ නිර්-ප්‍රභූ පාලකයෝ ඩඩ්ලිලා, මිත්‍රපාලලා සමඟ ආතල් ගනිති. ඒ ආතල් එක කඩනකන් ගොවියාටත්, පාරිභෝගිකයාටත් වැලලෙන්න වෙන්නේ වැලපෙමින්ම ය.
තඹුත්තේගම තනි සිග්නල් කණුව අතරින් විරාජමාන වූ ගොවි පුතාලාට දැන් කැවී ඇත්තේ දෙයියන්ගෙ හාල් ය. කයිතන්ලාට කරන්න පුළුවන් ප්‍රගතිශීලී කිසිවක් නොමැති බව මිනිස්සුන්ට තේරෙනවිට බොහෝ දේ වෙලා අවසන්ය! ගොවියා පාරට පැමිණ කියන්නෙ ඒ කතාව ය.