හාන මල් පැල !
1 min read
පාර්ලිමේන්තුවේ වූ වල්පැල ඉවතලා මල්පැල හිටුවූවායැයි කීවේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවය. 225 ම හොරුයැයි කීවේ ඊටත් පෙර සිටය. උගත්, බුද්ධිමත් පිරිසකට රට බාරදුන් බව කීවේ මහ මැතිවරණයෙන් පසුවය. 225 න් 159 ක්ම “මාලිමා”වට ලැබී තිබුණේ ඒ අනුවය. එහෙවු උගත්, බුද්ධිමත් “මල්පැල” සමඟ දැන් වසර 1 1/2 කට වඩා වැඩි කාලයක් අප ගෙවා අවසන් ය.
ඒ වසර 1 1/2 කෙළවර වන විට උගත් බුද්ධිමත් මල් පැල වලට සිදු වී ඇති දේ තේරුම්ගතහැක්කේ ඔවුන් කියන දේවල් වලින්ම ය. බිමල් රත්නායක කියන්නේ එ.ජා.ප. යේ සහ ස.ජ.බ. යේ දක්ෂයන් ආණ්ඩුවට එකතු කර ගන්නා බව ය. ලාල් කාන්ත ද ඒ බව ඒ හා සමානව කීවේය. පසුගියදා “ඩබල් පොකට්” වසන්ත සමරසිංහ ද “ඩබල් විෂන්” දමා කීවේ ලොකු වැඩක් කරන්නට ඇති බැවින් ආණ්ඩුවට එක්ව තණතුරු ලබා ගන්නා ලෙස විපක්ෂයේ “වැඩ්ඩන්ට” ආරාධනා කරන බවය. බලය ගෙන වසර 1 1/2 ක් ගතවන විට ආණ්ඩුවට මෙසේ “වැඩ්ඩන්” පිටින් හොයන්නට සිදු වී ඇත්තේ කුමක් නිසා ද?
මේ වසර එකහමාර පුරා ආණ්ඩුව කර ඇත්තේ හාන එකය. පළමුවෙන්ම හෑවේ පළමු කතානායක රංවල ය. ඊලඟ කතානායක ඒ තනතුරේ සිටිමින් නිල නිවාස තුනක් භුක්ති විඳිමින් හාන්නේ සමලිංගික හෑමක් ය. සුනිල් හඳුනා ද විජිත හේරත් ද හෑවේ ජාත්‍යන්තරව ය. ඉන්ටර්නැෂනලි හාන්නට හැමෝටම බැරිය.
කවදත් හාන හෑවගේ හෑවේ කොටහළු මඟුලෙන් ය. බීඩි සරත් මසකට දෙක බැගින් හාන්නේ හෑම හැර ඔහු දන්නා අන් කිසිවක් නැති නිසාය. රූපවාහිනී වැඩසටහන් වලට වී හාන්නේ ලක්මාලි ය. ඇය සිදුකරන හෑම දකින විට, බලාසිටිනවුන්ට සිතෙන්නේ හමන්නන්ට ය. T.V. වල හෑමට අති දක්ෂ සෙට් එකක් තවත් ඉන්නේ ය. උන්ගේ වාසනාවට ඒ නම් අපේ මතකයේ ඇත්තේම නැත.
ටිල්වින් හෑවේ පසුගිය මැයි දිනයේදීය. ඒ මේ ආණ්ඩුව සදාකල් පවතින බව කියාය. ජනාධිපති අනුර ද හාන්නේ පාර්ලිමේන්තුවට පැමිණ ය. මේ නිසා දැන් ඔහු වැඩිය පාර්ලිමේන්තුවට එන්නට උනන්දු වන්නේ ද නැත.
ලාල් කාන්ත හෑවේ සමාජ ප්‍රාග්ධනයෙන් ය. කුමාර ජයකොඩි හෑවේ ගල් අඟුරු වලින් ය. වසන්ත සමරසිංහ හෑමෙන් හොඳම හෑම හාන්නේ පරිප්පු, හාල් හැම දේකින්ම ය. මෙහෙම ගියෝතින් මේ හාන හැම ගැන ලියනවා හැර කරන්නට වෙන වැඩක් අපට ඉතිරිවන්නේ නැත.
දැන් ආණ්ඩුවට මේ බව තේරිලා ය . ඒ නිසා දැන් ආණ්ඩුව හදන්නේ 76 වසරක ශාපයට දායක වූ වැඩ්ඩන් ටිකක් විපක්ෂයෙන් එකතු කර ගන්නට ය. එවිට මේ හෑම අවම කරගත හැකිවනු ඇතැයි ආණ්ඩුවට සිතී තිබේ.
එරාන් ගියේ ක්‍රිකට් හාන්නට ය. මහින්ද සමරසිංහ නිවියෝක් සිට ආවොත් එන්නේ විජිත හේරත් විසින් හාන විදේශ ඇමතිකම බාරගන්නට ය. හර්ෂ ද සිල්වාට එන්න කියන්නේ නියෝජ්‍ය මුදල් ඇමැති ණය වාරික ගෙවීමේ දී පවා හාන මුදල් අමාත්‍යංශය බාරගන්නට ය. එමගින් හාන එක පාලනය කරගත හැකි යැයි ආණ්ඩුව සිතන්නේ ය.
මෙච්චර කෙටි කාලයක දී මෙහෙවු හාන ආණ්ඩුවක් 76 වසරේවත් තිබී නැත. රට්ටු සිතා සිටියේ හොඳටම හාන එක කළේ ගෝඨාභය කියා ය. නැතිනම් සිරිසේන කියා ය. මේ හාන හෑමේ හැටියට ඒවා මොනවාදැයි හිතෙන්නේ අපට පමණ ද ?