October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) අවලංගු කිරීම ට ගෙවූ වන්දි ප්‍රමාද යි ; ජපානය පොලියක් ඉල්ලයි

1 min read

ජපාන ආධාර මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) අවලංගු කිරීම හේතුවෙන් ගෙවනු ලැබූ වන්දි මුදල් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජපානය පොලියක් ඉල්ලා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2024 වසරේදී වාරික තුනක් යටතේ ශ්‍රී ලංකාව වන්දි මුදල් ගෙවා ඇති බවයි.

ඒ අනුව 2024 අගෝස්තු 23 දින ජපන් යෙන් මිලියන 189.7ක් ද, අගෝස්තු 27 දින ඇමරිකානු ඩොලර් මිලියන 1.031ක් ද සහ සැප්තැම්බර් 24 දින රුපියල් මිලියන 108.7ක් ද වශයෙන් ජපානය වෙත වන්දි ගෙවා තිබේ.

කෙසේ වෙතත්, අදාළ වන්දි මුදල් නියමිත වේලාවට පියවීමට අපොහොසත් වීම හේතුවෙන් ජපානය විසින් එම ප්‍රමාදය සඳහා පොලියක් ඉල්ලා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විට කමිටුවක් පත් කර ඇති අතර, මෙතෙක් කිසිදු පොලී මුදලක් ගෙවා නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලෙස හඳුන්වා දීමට සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය 2020 සැප්තැම්බර් 24 වන දින අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව අවලංගු කරන ලදී.

එම ව්‍යාපෘතිය පිරිවැය පලදායී නොවන බවට විදේශ වත්කම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද නිරීක්ෂණ පදනම් කරගනිමින් එවකට ජනාධිපති ලේකම්වරයා විසින් මෙම අවලංගු කිරීම නිර්දේශ කර තිබිණි.

ව්‍යාපෘතිය අවලංගු කිරීමත් සමඟ ජපන් කොන්ත්‍රාත්කරුවන් සහ උපදේශකයින් විසින් ඉදිරිපත් කරන ලද වන්දි ඉල්ලීම්වලට අමතරව, මෙම පොලී ඉල්ලීම ද ව්‍යාපෘතිය ආශ්‍රිතව මතුව ඇති තවත් මූල්‍ය ගැටලුවක් බවට පත්ව ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x