May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලරය දැන් යක්‍ෂාවේශ වෙලාය. රුපියල ඇත්තේ කරටි කැඩීය. ඩොලරයේ විකුණුම් මිල දැන් රුපියල් 320 ද පැනලා ය. මේ යන විදියට ගියහොත් ඩොලරයට සාපේක්ෂව රුපියල 400 වන දිනය ද වැඩි ඈතක නැත. රුපියල ගැන වගකියන්නේ ශ්‍රී ලංකා මහබැංකුවය. දැන් එය පට්ට ස්වාධීනය. ඒ නිසා මහබැංකු අධිපති විදේශගතවන විට විෂයභාර අමාත්‍යාංශයට දන්වා අනුමැතිය ගන්නට ද උවමනාවක් දැන් නැත. ඩොලර් මිලියන් 2.5 හොර ගෙවීම අණාවරණය වූ වහාම මහබැංකු අධිපති කලේ රටින් පැනීමය. ඒ නිසා මේ වෙලාවෙ රුපියල බලා කියා ගන්නට කිසිවකුත් ඇත්තේ නැත. දැන් රුපියල වැටී ඇත්තේ අම්මෙක් අප්පෙක් නොමැති සදා අනාත වූ දරුවකුගේ ගාණටය. එය දවසින් දවස යමින් ඇත්තේ බාල්දුවීමේ අන්තය කරා ය. ඒ ගැන වගකියන්නට දැන් කිසිවකුත් මෙසිරිලක නැත.

රුපියල එක ඩොලරයකින් බාල්දු වූ විට එය බලපාන්නේ රටේ ඉරණමට ය. ජනතාවගේ ජීවිතයට ය. එය සිදුවන අන්දම නොදන්නා තොත්තබබාලාගේ දැනගැනීම පිණිස එය සිදුවන අන්දම මෙසේ පැහැදිලි කළ හැකිය.

රුපියල වැටෙන විට පිටරටින් ගෙන්වන ද්‍රව්‍ය (තෙල්, ආහාර, යන්ත්‍ර සූත්‍ර ආදී) වල මිල ඉහළ යන්නේ ය. ඒවා ගෙන ඒමට කලින්ට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන්නේය.

පිටරටින් ගෙන එන ඉන්දන, කෑම, කිරිපිටි, තිරිඟු පිටි ආදී බොහෝ දේවල්වල මිල මේ නිසා ඉහළ යන්නේය. එමඟින් සිදුවන්නේ ජීවන වියදම ඉහළ යාමය. වෙනදා රුපියල් 5000 කින් කළ දේ, දැන් රුපියල් 10,000 කින්වත් කරගන්න බැරියැයි මිනිස්සු කියන්නේ එවිට ය. භාණ්ඩ පමණක් නොව සේවාවන්හි මිල ද ඒ නිසා ඉහළ යන්නේ ය.

ජනප්‍රිය පුවත්  මෝඩිගේ හුණ්ඩුව

ඊළඟට සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ණය බර ඉහළ යාමය. අප ණය ගෙන ඇත්තේ රුපියල් වලින් පමණක්නම් ඒ ප්‍රශ්ණය අපට බලපාන්නේ නැත. එහෙත් අප ණය ගෙන ඇත්තේ විදේශ මුදල් ඒකක වලින් ය. ඇමරිකානු ඩොලර් වලින් ය. වෙනදා ඩොලරයකට අප ගෙව්වේ රුපියල් 200 නම්, ණය බරේ රුපියල් ගණන හැදෙන්නේ ඒ ගාණට හරියන ලෙසය. නමුත් අද ඩොලරයේ වටිනාකම 320 නම්, ගත්තු ණය වල රුපියල් අගය ඒ නිසාම ඉහළ යන්නේ ය. එවිට ඒ බරද එන්නේ රටට ය.

රුපියල වැටෙන්නේ රුපියලට ඕන නිසා නොවේ. ඕනෑම රටක වෙළඳ හිඟය පවතීනම් (එනම්, ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩිනම්) ඒ පරතරය පියවන්නට වෙන්නේ ණය අරගෙනය. එවිට රුපියලට එන පීඩනය වැඩි වේ. විදේශ විනිමය සංචිත අඩු වුවද රුපියල කඩා වැටේ. මේ සියල්ල තුළින් ඇතිවන ආර්ථික අස්ථාවරතාවය ද රුපියල ඇද වැටෙන්නට ඉවහල් වේ.

රුපියල බාල්දුවීම නිසා ආනයන වියදම් ඉහළ යාම සිදු වේ. ඒ මගින් ගෙවුම් ‍ශේෂ හිඟයද පුළුල් වේ. දිගින් දිගටම රුපියල වැටෙන විට කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යාපාර වැසී යෑමේ ප්‍රවණතාව වර්ධනය වේ. බැංකු, මූල්‍ය සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවා කඩා වැටීමට ඉඩ තිබේ.

ජනප්‍රිය පුවත්  ''ට්‍රම්ප් කාඩ්'' එක

රුපියල කඩා වැටීම බරපතල ලෙස සිදුවන්නට වූයේ 1977 න් පසුවය. එනම්, JR ජයවර්ධන විවෘත වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයට ලංකාව යොමු කිරීමත් සමගය. 1977 සැප්තැම්බර් මාසයේ සිට එම වසරේම නොවැම්බර් දක්වා මාස 2 ක් තුළ දී 120% කින් ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වී තිබේ. එතැන් පටන් රුපියල් කඩා වැටීම මෙසිරිලක වෙසෙන ජනමනයාට සාමාන්‍ය දෙයක් බවට පත්විණි.

දැන් අප ඉන්නේ නන්දලාල්ලා විසින් ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවා ගත නොහැකි වූ රටක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති තත්වයකය. අපේ විදේශ වත්කම් සංචිත ද ඇත්තේ කෘතිමව පුම්බලාය. වත්මන් ජනාධිපති රට බාර ගත්තේ ඒ ඉරණමට ඇද වැටී ඇති රට ගොඩගන්නා බවට පොරොන්දු දී ය. එහෙත් කිසිදු අළුත් ගමන් මාර්ගයක් අපට පෙනෙන්නේ නැත. සිදුවන්නේ විදේශ විනිමය උපයන මාවත බලගන්වනවා වෙනුවට ආනයන වියදම වැඩි කර ගැනීමේ මාවත බලගැන්වීම ය. අවුරුදු 8 ක් පරණ ගුවන් යානයක් ඩොලර් මිලියන් 2.6 ගෙවා බදු අරගෙන තියෙන්නේ ඩොලර් අර්බුදයක පැටලී ඇති රටක්ය. සුපිරි බස් රථ ගෙනෙනවායැයි කියමින් මේ වැය කරන්නේ ඩොලර් මිස වෙන අහවල් එකක් නොවේ. සුනිත්‍ය විදුලිය බලය දුර්මුඛ කොට ඉන්ධන මත හෝ ගල් අඟුරු මත යැපෙන විදුලිය නිපදවීම යනු ඩොලර් පිච්චීම ය. අත පය දිගහැර වැය කරන්නේ ඩොලර් ය. ජනතාවගේ පරිභෝජණය ද මෙවැනි ඉරණමකට ලක් වූ රටකට ගැලපෙන්නේ නැත. පනුරුදයෝ ඒ ගැන කිසිත් පවසන්නේ නැත.

ජනප්‍රිය පුවත්  ධම්මිකගේ කරල පැහේ! ජනාධිපතිගේ ''හුණ්ඩු" මොලේ!

ආණ්ඩුව කරන්නේ, අතිරේක රුපියල් ප්‍රමාණය සොයා ගන්නට බදු පරිමාව පුළුල් කිරීමය. කොත්තු රොටී හෝටලය අයිති මුදලාලිවත් වැට් බදු ගෙවන්නට ලියාපදිංචි කර ගැනීමය. එයින් සිදුවන්නේ දුප්පතාට පමණක් නොව, මැද පංතියට ද ජීවත්වීම අපා දුකක තත්වයට ඇද වට්ටවාලීමය. විදුලිය, ජලය ආදී සේවා වියදම ද නහුතෙට වැඩි වන විට මේ රට මිනිස්වාසයට නුසුදුසු රටක් බවට පත්වීම වැලැකිය නොහැක.

බලය ගත්ත මාලිමාවන්ට මේ ගැන වගේ වගක් නැත. මේ ආණ්ඩුව කරන්නේ IMF එක කියන විදියට දවස ගෙවීමය. එලෙස ගෙවන දවසක් පාසා, වසර ගණනාවක ජීවිතය අහිමි වන්නේ රටේ මිනිස්සුන්ට ය. දුප්පත්කම දැකලවත් නැති, දුප්පත්කම විඳලවත් නැති, දුප්පත්කම ගෑවිලාවත් නැති බිලියනපති බිමල්ලාගේ අනුරලාගේ ලෝකයට මේ අර්බුදය දැනෙන්නවත් නැත.

ඔහොම ගියෝතින් රුපියලටත් වඩා බාල්දු වන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩුව බව මේ උදවියට තේරෙන්නේ නැත. තේරෙනකොට වෙන්න තියෙන සියළු දේ වෙලා අවසන්ව තිබෙනු ඇත. එතෙක්, දිය හැලියේ නැටිය යුත්තේ කකුළුවන් ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x