July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරයේ CCTVවල DVR දෘඩ තැටි මොරටුව සරසවියට

1 min read

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ නීති කෘත්‍යය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ අද (16) යළි කැඳවූ බවට වාර්තා වේ.

එහිදී සිදුකෙරෙමින් පවතින විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ තිබූ CCTV වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයටගත් DVR දෘඩ තැටි 02ක් අධිකරණ නියෝග ප්‍රකාරව වාර්තාවක් ලබාගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමු කළ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුනි.

ඔවුන් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශනයට අදාළ අපරාධ ස්ථානය වූ මීගමුව බන්ධනාගාරය මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගි කරගනිමින් සිතියම්ගත කළ බවය.

එසේම නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන, මියගිය එක් රැඳවියෙක්ට අදාළ ලේ සාම්පල සහ ඇඳුම්ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලාසිටියේය.

අනතුරුව නොසන්සුන්තාවය අතරතුර මියගිය රැඳවියන් තිදෙනෙකුගේ මරණ වලට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණ සඳහා සාක්ෂි ලබාගැනීම සිදුවුවාය.

එහිදී එක් රැඳවියෙකුගේ ඥාතියෙකු “මෙම සිද්ධියෙන් මීගමුව බන්ධනාගාරයේ සිටී මගේ නංගිගේ පුතා මියගියා. ඔහුට වයස අවුරුදු 31යි. ඔහු මත්ද්‍රව්‍ය භාවිත කරනවා. පසුගිය වසරේ ජුනි 12 වැනිදා පොලිසියෙන් නිවසට ඇවිල්ලා තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. එතැන්පටන් ඔහු සිටියේ මීගමුව බන්ධනාගාරයේ. මෙම සිද්ධියෙන් පස්සේ පසුගිය 12 වැනිදා මීගමුව රෝහලේදී අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ මෘත ශරීරය හඳුනාගැනීම සිද්ධ කළා. පසුව 13 වැනිදා කෙසෙල්වත්ත පොදු සුසානභූමියේදී භූමිදානය කළා. මට වෙන කියන්න කිසිවක් නැහැ. එයා වැරදි කරන හින්දානේ අත්අඩංගුවට ගත්තේ. එපමණයි. ” යනුවෙන් පැවසුවේය.

ජනප්‍රිය පුවත්  ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

මියගිය තවත් රැඳවියෙකුගේ මවක සාක්ෂි ලබාදෙමින්, “මගේ ලොකු පුතාත් මේ සිද්ධියේදී මියගියා. ඔහු විවාහවෙලා පසුව වෙන්වෙලා හිටියේ. කුඩුවලට වරෙන්තුවෙලා තිබ්බ නඩු 03කට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඔහු බන්ධනාගාරගත වුණා. මේ සිද්ධියෙන් පස්සේ මම 11 වැනිදා මීගමුව රෝහලට ගියාම පළමුවෙන් මට ඡායාරූප කිහියක් පෙන්නුවා. එතන ඉස්සෙල්ලාම තිබුණේ පුතාගේ photo එක. පසුව මෘත ශරීරාගාරයේදීත් මම පුතාගේ මෘත ශරීරය හඳුනාගත්තා. 13 වැනිදා කහටවිල පොදු සුසානභූමියේදී අවසන් කටයුතු සිද්ධ කළා. ඇතුළේදී මෙයා රණ්ඩුවුණ නිසා මෙයාට මේක වුණා කියලයි මට හිතෙන්නේ.” යනුවෙන් පැවසුවාය.

අනතුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රැඳවියෙක් සහ නිලධාරීන් 02කුගේ මරණයන් සම්බන්ධයෙන් කෙටි මරණ පරීක්ෂණ වාර්තා විමර්ශන නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරියට භාරදුනි.

පසුව සෙසු මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවීමට සහ විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කිරීමට නඩුව ජුලි 23 වැනිදා දක්වා කල්තැබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x