භාණ්ඩාගාර බිල්පත්වලින් 50%ක් අළෙවි නොවේ !
1 min read
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් 20 දින කැදවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 140,000ක වටිනාකමකින් යුත් බිල්පත් ඉදිරිපත් කර තිබුණද, ඉන් විකිණීමට හැකිවී ඇත්තේ රුපියල් මිලියන 67,337ක බිල්පත් ප්‍රමාණයක් පමණි.
ඒ අනුව මෙම වෙන්දේසියේ සමස්ත සාර්ථකත්වය සියයට 48ක මට්ටමක පැවැති බව හෙළිවේ.
කෙසේ වෙතත්, මෙම වෙන්දේසිය සඳහා ආයෝජකයන්ගෙන් රුපියල් මිලියන 232,291ක ඉහළ ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ දත්ත පෙන්වා දෙයි.
මෙහිදී දින 91 සහ දින 182 කෘතිවල ඵලදා අනුපාතිකයන්හි වර්ධනයක් දක්නට ලැබුණු අතර දින 364 කෘතියේ අනුපාතිකය ස්ථාවරව පැවතුණි.
දින 91 බිල්පත් පොලී අනුපාතිකය පදනම් අංක 5කින් ඉහළ ගොස් ඇති අතර, එය සියයට 8.13ක මට්ටමේ සිට සියයට 8.18ක් දක්වා වර්ධනය විය.
දින 182 බිල්පත් එහි ඵලදා අනුපාතිකය සියයට 8.23ක සීමාවේ සිට සියයට 8.25ක් දක්වා පදනම් අංක 2ක සුළු ඉහළ යෑමක් වාර්තා කළේය.
දින 364 බිල්පත් දීර්ඝතම කාලීන බිල්පත් සඳහා වූ අනුපාතිකය කිසිදු වෙනසකට ලක්නොවී සියයට 8.49ක මට්ටමේම නොවෙනස්ව පැවතුණි.
