June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම සමාගමක් කිරීමට රජයේ අවධානය..

1 min read

ලෝක බැංකු සමූහයේ දේශිය කළමනාකාර ගෙවෝගර් සාගර්සයාන් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය සම්බන්ධයෙන් වන නව මූල්‍ය ආකෘති සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙහිදී ලෝක බැංකුවේ දේශීය කළමනාකාරවරයා විසින් කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් රජය සතු දිශානතිය පිළිබඳව විමසා සිටි අතර, කොළඹ වරායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ලෝක බැංකු සමූහය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එකකාබද්ධව මේ වන විට විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් සිටින බව ද සඳහන් කළේය.

මේ වන විටත් ලෝක බැංකු සමූහය විසින් ඉදිරිපත් කර ඇති අරමුදල් යෝජනාව සහ මූල්‍ය ආකෘති පිළිබඳව රජය තවදුරටත් සලකා බලමින් සිටින අතර, එම කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

මෙම හමුවේදී කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) වෙනම ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව අනාවරණය වූ අතර, ඒ සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය පියවර සඳහා මේ වන විටත් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබේ. එවැනි ආයතනික වෙනසක් සිදු කිරීමේදී වෘත්තීය සමිති පාර්ශවයන්ගේ ද එකඟතාවය ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන අතර, සාම්ප්‍රදායික රාජ්‍ය ව්‍යවසාය ව්‍යුහයකට වඩා වැඩි ස්වාධීනත්වයක් සහ වාණිජමය වශයෙන් නම්‍යශීලිත්වයක් සහිත නව ආකෘතියක අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරුණි.

ජනප්‍රිය පුවත්  ජ.වි.පෙ.න් රට වැසියාගේ වත්කම් සොයයි!

ලෝක බැංකු නියෝජිතයින් පෙන්වා දුන්නේ වෙනත් රටවල මෙවැනි ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී, විශේෂයෙන්ම වෘත්තීය සමිති සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳවයි. පෞද්ගලික අංශයේ සහභාගීත්වය තුළින් ආදායම් මාර්ග සහ සේවක සුභසාධනය සාර්ථකව වැඩි දියුණු කළ ආකාරය සහ සේවකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ සාර්ථක යෝජනා පිළිබඳ තමන් ලැබූ ජාත්‍යන්තර අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට ද ඔවුහු එකඟත්වය පළ කළහ. එහිදී සිංගප්පූරුව, ඩුබායි සහ ජෙඩා වැනි ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වරාය ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වය ලබා ගනිමින් බංග්ලාදේශයේ චිතගොං වරාය අධිකාරිය ලැබූ සාර්ථකත්වය ද නිදසුන් ලෙස සාකච්ඡාවට බඳුන් විය.

මීට අමතරව, වර්තමානයේ පවතින මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය නාවික ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් කොළඹ වරාය වෙත යොමුව ඇති බැවින්, ඒ පිළිබඳව ඉතා සැලකිලිමත් වී කටයුතු කරන ලෙස ලෝක බැංකු නියෝජිත පිරිස රජයෙන් ඉල්ලා සිටියහ.

වරාය ක්ෂේත්‍රයට අමතරව, ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ සමස්ත දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, මෙම කරුණු සම්බන්ධයෙන් මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC) සමඟ සාකච්ඡා වට පවත්වමින් සිටින බව ද හෙළි විය.

ජනප්‍රිය පුවත්  නොරොච්චෝලේ ගල්අඟුරු වංචාව වසන් කරන්න ඇමතිගෙන් කුමන්ත්‍රණයක්? - ඩී.වී. චානක හෙළි කරයි!

කොළඹ වරායේ ECT පර්යන්තය, ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජය ඉදිරි කාලය තුළදී වැදගත් ප්‍රතිපත්තිමය සහ ආයතනික තීරණ කිහිපයක් ගැනීමට සූදානම් බව සඳහන් කළ විෂයභාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, එම සියලු තීරණ නිවැරදි මූල්‍ය ආකෘති, ශක්තිමත් රාජ්‍ය-පෞද්ගලික අංශ සහභාගිත්වය (PPP) සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුවම ගන්නා බවට සහතික වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x