අටමස්ථානාධිපති හිමියන්ගේ තණතුරු හරණය කෙරේ !
1 min read
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනා සැලකිල්ලට ගනිමින්, උන්වහන්සේ වෙත පිරිනමා තිබූ ‘නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක’ පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ ඍජු නියමය පරිදි, මල්වතු මහාවිහාරීය ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්ථවිරයන් වහන්සේගේ අත්සනින් යුතුව අද (30) නිකුත් කළ විශේෂ නිල මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය මෙන්ම අටමස්ථානාධිපති ධුරය දරන පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් වර්තමානයේ සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති චෝදනා පිළිබඳව මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාවේ සුවිශේෂී අවධානය යොමුව තිබිණි.
මේ සම්බන්ධයෙන් මල්වතු මහා විහාරය විසින් අදාළ පාර්ශ්වයන් ද කැඳවා දීර්ඝ වශයෙන් කරුණු විභාග කිරීමක් ද සිදුකර ඇත.
“අද (30) දින රැස් වූ මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාවේදී මෙම තීරණයට එළඹුණා. පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි චෝදනා පිළිබඳව දැනට පවතින අධිකරණ කටයුතු අවසන් වී, ඒ පිළිබඳව අවසන් නීතිමය තීන්දුවක් ලැබෙන තෙක් සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව උන්වහන්සේගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා,” යැයි එම නිවේදනයේ දක්වා ඇත.
කාරක මහා සංඝ සභාවේ මෙම නියමයත් සමඟ, අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයේ කටයුතු අඛණ්ඩව සහ බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා තාවකාලිකව එහි වැඩ බැලීමට නව පත්කිරීමක් සිදු කිරීමට අටමස්ථාන කමිටුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, අටමස්ථාන කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ධුරය දරන, පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්ථවිරයන් වහන්සේ අටමස්ථානාධිපති ධුරයේ කටයුතු තාවකාලිකව ආවරණය කිරීම සඳහා පත්කිරීමට තීරණය කර ඇති බවද එම නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

