අගමැතිනි කියූ අලුත් ඩෙංගු ප්‍රබේද කතාව සෞඛ්‍ය ලොක්කෝ ප්රතික්ෂෙප කරති..
1 min read
මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට හේතුව නව හෝ විකෘති වූ ඩෙංගු වෛරස් ප්‍රභේදයක් බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෑතකදී කළ ප්‍රකාශ සෞඛ්‍ය විශේෂඥයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එවැනි ප්‍රකාශ සනාථ කිරීමට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් ලැබී නොමැති බව ඔවුහු අවධාරණය කරති.
විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ‘ඩේලි මිරර්’ පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ කිසිදු රසායනාගාරයක් මගින් මෙතෙක් නව ඩෙංගු වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන නොමැති බවයි.
වෛරසයේ ව්‍යාප්ත වන ‘සෙරෝටයිප්’ (Serotype) වර්ගය වෙනස් වී තිබිය හැකි වුවද, එය නව හෝ විකෘති වූ ප්‍රභේදයක් ලෙස හැඳින්විය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
“කිසිදු රසායනාගාරයක් නව ප්‍රභේදයක් සොයාගෙන නැහැ. එවැනි ප්‍රකාශයක් කිරීමට තරම් සාක්ෂි අප සතුව නැහැ” යනුවෙන් වෛද්‍ය ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
