July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාස හයකින් තනි මහල මහල් පහක් වූ අරුමයක්! කටුනායක ‘මෙල්වා’ සිමෙන්ති ව්‍යාපෘතිය හමුවේ UDA නීතිය නැමුණේ ඇයි?

1 min read

නීතියේ සිදුරෙන් රිංගූ මහා ප්‍රාග්ධනය
කටුනායක 18 කණුව, ලියනගෙමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් මුවාවෙන් ඉදිවන ‘මෙල්වා’ (Melwa Cement) සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්තශාලාවට එරෙහිව පැනනැගී ඇති දැවැන්ත මහජන විරෝධය, හුදෙක් පාරිසරික ගැටලුවකට එහා ගිය මහා පරිමාණ ප්‍රාග්ධන ආධිපත්‍යය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරන්නකි.

පෙරියසාමි පිල්ලෙයි අනන්දරාජා ඇතුළු පවුලේ සමාගමක් ලෙස ක්‍රියාත්මක වන මෙල්වා සමූහය, මේ වන විට කොළඹ වරාය නගරයේ (Port City) අක්කර 4ක ඉඩමක් ඩොලර් මිලියන 57.6කට මිලදී ගෙන දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තරම් ප්‍රබල ආර්ථික බලයක් ගොඩනගාගෙන තිබේ. මෙවැනි අතිවිශාල ප්‍රාග්ධන ව්‍යාප්තියක් සහිත සමාගම් හමුවේ, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) වැනි රාජ්‍ය නියාමන ආයතන සිය නෛතික වගකීම් පසෙකලා ආයෝජකයන්ගේ අවශ්‍යතා මත පමණක් නම්‍යශීලී වී ඇති බවට මෙම ව්‍යාපෘතිය ප්‍රබල සාක්ෂි සපයයි.

මාස හයෙන් වෙනස් වූ UDA අනුමැතිය

මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාකලාපය නෛතිකව දැඩි සැකයකට තුඩු දෙයි. ලේඛනගත සාක්ෂිවලට අනුව, 2025.05.09 දින UDA මගින් මුලින්ම අනුමැතිය ලබාගෙන ඇත්තේ වර්ග මීටර් 3,857ක වපසරියකින් යුතු තනි මහල් ගොඩනැගිල්ලක් සඳහා පමණි.

ජනප්‍රිය පුවත්  කොළඹ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ ඉල්ලා අස්වෙයි

එහෙත්, පුදුම සහගත ලෙස මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත එම ඉදිකිරීම වර්ග මීටර් 12,925ක වපසරියකින් සහ මහල් පහකින් (G+4) යුත් දැවැන්ත කර්මාන්තශාලා සංකීර්ණයක් දක්වා පුළුල් කිරීමට UDA බලපත්‍රය ලබා දී ඇත.

මෙතරම් විශාල පරිමාණයේ ව්‍යුහාත්මක සංශෝධනයක්, ජනතාවගේ විරෝධය නොතකා අනුමත කිරීම හරහා UDA ආයතනය නීතියේ සිදුරු (loopholes) භාවිත කරමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට නෛතික ආවරණයක් සපයන බව පැහැදිලි වේ. තවද, ඉදිකිරීම් භූමියේ කිසිදු ප්‍රසිද්ධ දැනුවත් කිරීමේ පුවරුවක් නොමැති වීම, නාගරික සැලසුම් නීතියේ අනිවාර්ය කොන්දේසියක් වන මහජන පාරදෘශ්‍යභාවය මුළුමනින්ම උල්ලංඝණය කිරීමකි.

පාරිසරික ඝාතනයකට නෛතික ආවරණයක්?
ජාතික පාරිසරික පනත (National Environmental Act) යටතේ, මෙවැනි දැවැන්ත සිමෙන්ති කර්මාන්තශාලාවක් අනිවාර්යයෙන්ම විනිවිදභාවයෙන් යුත් පාරිසරික බලපෑම් ඇගයීමකට (EIA) ලක්විය යුතුය. විශේෂයෙන්ම අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති ලියනගෙමුල්ල කඩොලාන පද්ධතියට, මීගමු කළපුවට සහ මුතුරාජවෙල සංවේදී කලාපයට මායිම්ව මෙය ඉදිකිරීම බරපතල නෛතික වරදකි.

සිමෙන්ති දූවිලි (Cement Dust) හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ මෙහෙයුම්වලට, ප්‍රදේශයේ පාසල්වල දරුවන්ට, ධීවර ප්‍රජාවට සහ ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට එල්ල වන බලපෑම මෙහිදී මුළුමනින්ම නොසලකා හැර ඇත. මෙය ශ්‍රී ලංකාවේ පාරිසරික නීතියේ පිළිගත් ‘පූර්වාරක්ෂක මූලධර්මය’ (Precautionary Principle) සහ රාජ්‍ය ආයතන විසින් පරිසරය සුරැකිය යුතු බවට වන ‘මහජන භාර මූලධර්මය’ (Public Trust Doctrine) අමු අමුවේ උල්ලංඝණය කිරීමකි.

ජනප්‍රිය පුවත්  පැරිස් අගනුවර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්

අවසාන වශයෙන්, කටුනායක මෙල්වා සිමෙන්ති කර්මාන්තශාලා අර්බුදය යනු හුදෙක් එක් කර්මාන්තශාලාවක ගැටලුවක් නොවේ. එය, බහු-ආංශික ව්‍යාපාරික දැවැන්තයන් සිය ප්‍රාග්ධන බලය යොදාගනිමින් රාජ්‍ය යාන්ත්‍රණය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් හසුරුවන ආකාරය පෙන්වා දෙන කදිම කැඩපතකි. වරාය නගරය වැනි දැවැන්ත ව්‍යාපෘති දක්වා ඔවුන්ගේ ආධිපත්‍යය විහිදෙද්දී, සාමාන්‍ය ජනතාවගේ ජීවන අයිතිය සහ පාරිසරික තිරසරභාවය ආයෝජකයන්ට පාවා දෙමින් සිටින බව මෙම සිදුවීමෙන් තහවුරු වේ. මහජන යුක්තිය වෙනුවෙන් මෙම සමස්ත ක්‍රියාවලියම වහාම ස්වාධීන නෛතික සහ පාරිසරික විගණනයකට ලක් කළ යුතුව ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x