April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අද දවසේ පවතින තත්ත්වය දෙස බැලූ විට පෙනී යන්නේ ඉතාම අමිහිරි, බියකරු චිත්‍රයකි. පසුගිය පැය කිහිපය පුරා ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාර ඉරානයේ උපායමාර්ගික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් අතර, ඉරානය ද සිය පූර්ණ ශක්තිය යොදවා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටී.


අද 2026 මාර්තු 30 වන සඳුදා වන විට ඉරාන-ඊශ්‍රායල ගැටුම දැන් විවෘත, දරුණු මහා පරිමාණ යුද්ධයක් බවට පරිවර්තනය වී හමාරය. ඊයේ (මාර්තු 29) රාත්‍රිය මැදපෙරදිගට නිදි නැති රැයක් විය.


ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයේ ‘අයිරන් ඩෝම්’ පද්ධතිය පවා අභියෝගයට ලක් කර තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් බහරේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇලුමිනියම් කර්මාන්තශාලා වෙත පවා ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. ඔවුන් පවසන්නේ මේවා ඇමරිකානු හමුදාවට සහය දෙන මධ්‍යස්ථාන බවයි.


ඉරාන ප්‍රහාරයකින් කුවේටයේ විදුලි බලාගාරයක් අඩාල වී ඇති අතර, එහිදී එක් ඉන්දියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යුද්ධය දැන් හුදෙක් ඉරානයට සහ ඊශ්‍රායලයට පමණක් සීමා නොවී අසල්වැසි රට වලටත්, එහි සේවය කරන විදේශිකයන්ටත් මාරාන්තික වී ඇත.


ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 20% ක් සිදුවන ‘හෝමුස්’ සමුද්‍ර සන්ධිය දැන් මර උගුලක් බඳුය. ඉරානය විසින් චීනයට අයත් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකකට පවා ගමන් කිරීමට අවසර ලබා නොදුන් බව වාර්තා වේ.
දැනටමත් නෞකා 50 කට අධික ප්‍රමාණයක් සමුද්‍ර සන්ධියෙන් පිටත නැංගුරම් ලා බලා සිටින්නේ මීළඟට කුමක් වේදැයි යන බියෙනි. දේශපාලන පිටියේ සිදුවන්නේ මීටත් වඩා භයානක සූදුවකි. අද උදෑසන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘එයාර් ෆෝස් වන්’ යානයේ සිට මාධ්‍ය වෙත කළ ප්‍රකාශය ලෝකයේම අවධානය දිනාගෙන ඇත. ට්‍රම්ප් පවසන්නේ, “ඉරානයේ පාලන තන්ත්‍රය දැනටමත් වෙනස් වී අවසන්” යනුවෙන්. ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයින් රැසක් පසුගිය සති කිහිපය තුළ ඊශ්‍රායල සහ ඇමරිකානු ප්‍රහාර හමුවේ මිය යාම ඔහු මෙලෙස අර්ථ දක්වයි.
නමුත් මෙහි ඇති පරස්පරය නම්, ඔහුගේම උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසන කරුණයි. වෑන්ස් පවසන්නේ ඇමරිකාව ඉරානය තුළ දිගුකාලීනව රැඳී සිටීමට බලාපොරොත්තු නොවන බවත්, තම යුධ අරමුණු බොහොමයක් දැන් සපුරාගෙන ඇති බැවින් ඉතා ඉක්මනින් ඇමරිකානු හමුදා ඉවත් කරගන්නා බවත්ය. මෙය ට්‍රම්ප්ගේ පැරණි උපක්‍රමයක්ද? එනම්, සතුරා ව්‍යාකූල කිරීම සඳහා එකිනෙකට පටහැනි අදහස් පළ කිරීමේ ‘Calculated Insanity’ද?
ලෝකය අද පවතින්නේ තුන්වන ලෝක යුද්ධයක අද්දරය. ඉරානය පවසන්නේ ඊශ්‍රායල සහ ඇමරිකානු නායකයින්ගේ පෞද්ගලික නිවෙස් පවා දැන් තම ඉලක්ක බවයි. අනෙක් අතට, ඊශ්‍රායලය පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහමුලින්ම විනාශ කරන තුරු තමන් පසුබට නොවන බවයි.

ජනප්‍රිය පුවත්  කොළඹ ෂැම්පේන් සමාජවාදීන්! පෙන්ට්හවුස් මහල් නිවාසවල සිට සමානාත්මතාවය දේශනා කිරීම


මෙම ගැටුම මැදපෙරදිග සිතියම සදහටම වෙනස් කරනු ඇත. ප්‍රශ්නය වන්නේ, මේ මහා විනාශයෙන් පසු ඉතිරි වන්නේ කුමක්ද යන්නයි!


දැනට පවතින වාර්තා සහ තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, මේ සතිය ඇතුළත ඇමරිකානු පාබල හමුදා ඉරානය ආක්‍රමණය කිරීමේ දැඩි සම්භාවිතාවක් පවතින බව! එය සරල ගැටුමක් නොවනු ඇති. දෙපාර්ශවයෙන්ම අතිවිශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදුවනු ඇතැයි දැනටමත් බිය පළ කෙරේ.


මුළු ගල්ෆ් කලාපය පුරාම පවතින අතිශය තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දරුණු ප්‍රහාර එල්ල වෙමින් පවතී. ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් රතු මුහුදේ පවතින “බාබ් අල්-මන්දෙබ්” සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගෙන තිබේ.


දැනටමත් ඉරානය සතු “හෝමුස්” සමුද්‍ර සන්ධියට අමතරව මෙයද අත්පත් කර ගැනීම හරහා ලෝකයේ ප්‍රධානතම වෙළඳ හා තෙල් ප්‍රවාහන මාර්ග සම්පූර්ණයෙන්ම සිරවී පවතී.


ඇමරිකාව, ඉරානය විනාශ කිරීමට උත්සාහ කරන තරමට, ඉරානය ද තම සම්පූර්ණ අවධානය යොමු කරන්නේ ඊශ්‍රායලය සහ මුළු ගල්ෆ් කලාපයම විනාශ කිරීමටයි.


මේ තත්ත්වය දිගටම පැවතුනහොත්, මුළු මැදපෙරදිග කලාපයම මිනිසුන්ට වාසය කළ නොහැකි, කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි කාන්තාර බිමක් බවට පත්වීමේ අවදානමක් ඇත. මෙය හුදෙක් දේශපාලන මතවාදයක් නොව, යථාර්ථයකි!

පසුගිය පැය 72 ඇතුළත ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් ගත් තීරණ දෙස බලන විට හැඟෙන්නේ, අප නොදන්නා නමුත් පාලකයින් දන්නා යම්කිසි “ආර්ථික සුනාමියක්” ක්ෂිතිජයට පැමිණ ඇති බවයි.


ඊජිප්තුවෙන් ඇසෙන පුවත අතිශය භයානකයි. එරට රජය විසින් රාත්‍රී 9 වන විට සියලුම වෙළඳසැල් වසා දැමීමට නියෝග කර තිබේ. එපමණක් නොව, නිවසේ සිට වැඩ කිරීම අනිවාර්ය කර ඇත. එරට රජය මෙය හඳුන්වන්නේ “War Economy Mode” හෙවත් “යුදමය ආර්ථික මාදිලිය” ලෙසයි. මෙහි ඇති පුදුමය නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඊජිප්තුවේ ආර්ථිකය ප්‍රශංසාවට ලක් කර ඩොලර් බිලියන 2.3ක මුදලක් නිදහස් කර දින හතරකට පසුව මේ තීරණය ගැනීමයි. “ආර්ථිකය හොඳයි” කියා සහතික ලැබුණු රටක්, හදිසියේම යුද කාලීන නීති ක්‍රියාත්මක කරන්නේ ඇයි?


තුර්කියේ මධ්‍යම බැංකුව පසුගිය මාර්තු මාසය තුළ පමණක් “ලීරා” මුදල් ඒකකය කඩා වැටීම වැළැක්වීමට ඩොලර් බිලියන 30ක් වියදම් කර තිබේ. එරට මුදල් ඇමතිවරයා දැන් සූදානම් වන්නේ තුර්කිය සතු ජාතික රත්‍රන් සංචිත විකිණීමටයි. රටක අවසාන ආරක්ෂක පවුර රත්‍රන් නම්, එයත් විකිණීමට තීරණය කිරීම යනු ඔවුන් අසරණ වී ඇති බව නොවේද?


පකිස්ථාන අගමැතිවරයා ඊද් උත්සවය දවසේ ජාතිය අමතමින් කියා සිටියේ රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කරන බවයි. ඉන්ධන සහනාධික 50% කින් අඩු කළ අතර, ඩොලර් මිලියන 358 ක “සකසුරුවම් අරමුදලක්” පිහිටුවන ලදී. නමුත් ප්‍රශ්නය වන්නේ, මේ තරම් දරුණු සකසුරුවම් පියවර ගන්නේ කුමන අනතුරක් දැකලාද යන්නයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය මාර්තු 26 වනදා විශේෂ නියෝගයකට අත්සන් තැබීය. ඒ අනුව ඩොලර් 100,000 කට වඩා වැඩි මුදල් හෝ ග්‍රෑම් 100 කට වඩා වැඩි රත්‍රන් බාර් රටින් බැහැර කිරීම තහනම්ය. මෙය “කළු ආර්ථිකය” පාලනය කිරීමට ගත් පියවරක් ලෙස හැඳින්වූවත්, ඇත්තටම සිදුවන්නේ, රට ඇතුළත වටිනාකම් රඳවා තබා ගැනීමේ උත්සාහයකි.

ජනප්‍රිය පුවත්  මිත්‍රවරුණි,ඔබේ හිත රිදෙන ඇත්තක් කීමට ඉඩ දෙන්න


අනෙක් අතට ඉරාකය බැංකු 22ක ඩොලර් ගනුදෙනු තහනම් කර ඇති අතර, 2026 ජූලි වන විට සියලුම රජයේ ආයතන “Cashless” ගනුදෙනු වලට මාරු විය යුතු බවට නියෝග කර ඇත.


එමෙන්ම දකුණු කොරියාව මාර්තු 25 වනදා “යුද කාලීන ආර්ථික ප්‍රතිචාරක බලකායක්” පිහිටුවන ලදී. එහි සභාපතිත්වය දරන්නේ එරට අගමැතිවරයාය. කිසිදු යුද්ධයක් නිල වශයෙන් ප්‍රකාශ කර නැති පසුබිමක මෙවැනි බලකායන් පිහිටුවීම පිටුපස ඇත්තේ කුමන බියක්ද? ලෙබනනයේ මුදල් ඒකකය 98%කින් කඩා වැටී ඇත. යුද්ධය නිසා සිදු වූ ආර්ථික හානිය ඩොලර් බිලියන 14කි.


ඇයි මේ හැමෝම බොරු කියන්නේ? මේ ලැයිස්තුවේ ඉන්න සෑම රජයක්ම පාහේ පසුගිය දින 30 පුරාම තමන්ගේ ජනතාවට කීවේ “ආර්ථිකය ස්ථාවරයි, බය වෙන්න එපා” කියාය. නමුත් ක්‍රියාවෙන් ඔවුන් කරන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයකි.


මෙය හරියට නැව ගිලෙන්න ඔන්න මෙන්න තිබියදී, සංගීත කණ්ඩායමට දිගටම වාදනය කරන්න යැයි පවසන කැප්ටන් කෙනෙකුගේ ක්‍රියාවක් වැනිය. පාලකයින් අපට සත්‍යය පවසන විට ප්‍රමාද වැඩි වනු ඇත!


මේ සිදුවීම් මාලාව දෙස බලන විට අපට කරුණු කිහිපයක් පැහැදිලි වේ. රත්‍රන් සහ විදේශ විනිමය මත රජයන් පනවන තහංචි වලින් පෙනෙන්නේ ලෝක මට්ටමේ මූල්‍ය අර්බුදයක් මෝදු වන බවයි. “සෑම දෙයක්ම හොඳින් සිදුවේ” යන්න දේශපාලන ප්‍රකාශයක් මිස, ආර්ථික සත්‍යයක් නොවිය හැකිය.


ඔබ මේ තොරතුරු දැනගන්නේ අද නම්, පාලකයින් මේවා සැලසුම් කර ඇත්තේ මීට මාස ගණනාවකට පෙරය. තොරතුරු වලින් සන්නද්ධ වීම අද කාලයේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. ලෝකය ගමන් කරන්නේ නොදන්නා ඉසව්වකටය. එය ඩිජිටල් මුදල් ඒකක වලට බලෙන් මාරු කිරීමක් විය හැකිය, නැතහොත් ගෝලීය බල අරගලයක ආර්ථික ප්‍රතිඵලයක් විය හැකිය. කෙසේ වෙතත්, අවදියෙන් සිටීම සහ තමන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය ගැන දෙවරක් සිතීම අද දවසේ ඉතාම වැදගත්ය.


මෙම ගැටුම තවදුරටත් උත්සන්න වුවහොත්, නූතන ජීවිතයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක දැඩි හිඟයක් ලෝකය පුරාම ඇති වනු ඇත. ඉන්ධන මිල අහස උසට යනු ඇත. කෘෂිකාර්මික රටක් වන අපට මෙය මාරාන්තික පහරකි. ආහාර නිෂ්පාදනය අඩාල වනු ඇත. ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා සෑම භාණ්ඩයකම මිල ඉහළ යනු ඇත. මෙය අවසානයේ නතර වන්නේ පාලනය කළ නොහැකි උද්ධමනයකිනි.

ජනප්‍රිය පුවත්  මචං හර්ෂණ


මුළු ලෝකය පුරාම පොලී අනුපාත ඉහළ යනු ඇත. ඇමරිකාව ඇතුළු සංවර්ධිත රටවලට පවා තමන් ලබාගෙන ඇති අතිවිශාල ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වනු ඇත. මෙහි ප්‍රතිඵලය වසර ගණනාවක් පුරා පවතින ගෝලීය ආර්ථික පසුබෑමක් විය හැකියි.


පරමාණුක අවි භාවිතයක් දක්වා මෙම තත්ත්වය දුරදිග ගියහොත් සිදුවන විනාශය ගැන සිතීම පවා අතිශය භයානකය. යුද්ධයට එරෙහිව සාමාන්‍ය ඇමරිකානු වැසියන් දැඩි ලෙස විරෝධය පළ කරමින් සිටී. ට්‍රම්ප් සහ MAGA ව්‍යාපාරය කෙරෙහි පවතින ජනප්‍රියත්වය වේගයෙන් පහත වැටෙමින් පවතින බව පෙනේ.


මෙය මේ වසර අගදී පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය පරාජය වීමට හේතු විය හැකියි. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් බලය අත්පත් කරගතහොත්, ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් පවා පැමිණිය හැකියි. ඇමරිකාව තවමත් තමන් වරක් භුක්ති විඳි ඒකපාර්ශ්වික ලෝක බලය තවදුරටත් පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත. යුරෝපය, රුසියාව, චීනය, ජපානය, ඉන්දියාව සහ මැදපෙරදිග රටවල් පවා දැන්, ඇමරිකාව විශ්වාස කිරීමට මැලි වෙති. ඇමරිකාව කෙරෙහි පැවති එම විශ්වාසය පළුදු වී හමාරය.


මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් වීමට මාස කිහිපයක් හෝ වසර කිහිපයක් ගත විය හැකියි. ඒ නිසා ඉවසීම අතිශය වැදගත් වේ. යුද්ධ සහ ආර්ථික අර්බුද මැද වුවත්, දක්ෂයාට සහ සූදානම්ව සිටින්නාට පැවැත්මක් ඇත.
ඔබ දැනට නියැලී සිටින රැකියාව සුරක්ෂිත කර ගැනීමටත්, එහි උපරිම දායකත්වය ලබා දීමටත් උත්සාහ කරන්න. මේ අඳුරු කාලය සදාකාලික නොවේ. නමුත් එම කාලය පසු කරන තුරු සීරුවෙන් සිටීම අත්‍යවශ්‍යයි.


අවසාන වශයෙන්, අප මානසිකව ශක්තිමත් විය යුතුය. ඉදිරියට පැමිණිය හැකි දුෂ්කර කාල පරිච්ඡේදයකට මානසිකව සූදානම් වන්න. එවැනි නරක තත්ත්වයක් ඇති නොවන්නේ නම්, එය අප සැමට වාසනාවකි. නමුත් යම් හෙයකින් ලෝකය තවත් අගාධයකට ඇද වැටුනහොත්, එයට හැඟීම්බරව නොව බුද්ධිමත්ව මුහුණ දීමට අප සූදානම්ව සිටිය යුතුය. ලෝකය වෙනස් වෙමින් පවතී. අපට පාලනය කළ නොහැකි බල අරගල හමුවේ, අපට පාලනය කළ හැකි එකම දෙය වන්නේ, අපේ සූදානම සහ අපේ ආකල්ප පමණි! තවත් විග්‍රහයකින් හමුවෙමු.


© සාගර දියගම
diyagama@outlook.com

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x