April 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝක බොරතෙල් මිල ලංකාවේ තෙල් මිල, විවිධ රජයන් තෙල් මිලෙන් ලැබූ ලාභයන් සහ ජනාධිපති අනුර දිසානායක:

1 min read

(2010 ජනවාරි සිට 2026 මාර්තු දක්වා දත්ත ඇසුරින් කරන විශ්ලේෂණයක්)

තරමක් දීර්ඝ උවත් ලෝකයේ තෙල් මිල, අපේ රටේ මිල හා ඒ ආශ්‍රතව ඇති කරුණු ගැන යම් අවබෝධයක් ලබා ගන්නට සම්පූර්ණ ලිපියම කියවන්නටයි අප මුලින්ම ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.


පෙබරවාරි මාසයේ ලෝක වෙළඳපොළ තෙල් මිල වෙනස්වීම් සලකා මාර්තු මාසයට අදාළ මිල වෙනස්කම් කරමින් (පෙබරිවාරි 28 වැනිදා), මාර්තු 2 වැනිදා ආණ්ඩුව කියා සිටියේ දවස් 30-47 අතර ප්‍රමාණයක් සඳහා ආණ්ඩුව/ IOC/ Sinopec ආදී සියලුම තෙල් වර්ග මිලදී ගෙන (යුද්ධය ආරම්භ වීමට පෙර මිලට) ගබඩා කර සංචිත ඇති බවත්, තෙල් නැතිවේ යැයි බිය නොවිය යුතු බවටත්, සූත්‍රයට අනුව නැවත මිල වෙනස් වෙන්නේ අප්‍රේල් වල බවත්, යුද්ධය නිසා ලෝකේ වැඩිවෙන තෙල් මිල අනුව එහිදී මිල ඉහල යා හැකි බවත්ය. නමුත් ඊට සතියක් ගෙවෙන්නට පෙර පසුගිය මාර්තු 9 වෙනිදා ආණ්ඩුව සියළුම ආකාරයේ තෙල් මිල ඉහල දමන ලදී.


එය සාධාරණීකරණය කරන්නට ආණ්ඩුවේ විවිධ අය එක එක කතා කියනු පෙනුනි. නලින්ද ජයතිස්ස සහ තෙල් සභාපති කිවේ මාසයකට තිබූ තෙල් ජනතාව දවස් 6 කින් ගසා ඉවර කර ඇති බවයි. වසන්ත සමරසිංහ කියා සිටියේ “අපේ අය මාසෙටම තිබ්බ ඩීසල් ටික මේ දවස් ටිකට ගහලා ඈහැ…කොහොමද වැඩේ.. දැන් එන නැව් තෙල් පටවාගෙන වරායට ඇවිත් අහනවා කීයද දෙන්න පුළුවන්, මෙන්න ලෝක වෙළඳපොළේ මිල වැඩි වෙලා ඈහැ”, කියාය. ඊට සම්පුර්ණයෙන් විරුද්ධ, නමුත් වගකීමක් සහිතව යැයි කතාවක් කීවේ CPC කළමණාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරය. ඔහු කිවේ රට තුල දින 30කට ස්ථිරව තෙල් සංචිත ඇති බවත් ඉදිරියේදී එකවර විශාල වශයෙන් මිල ඉහළ දමනවාට වඩා කොටස් වශයෙන් වැඩි කරන්නට තීරණය කර ඇති බවත්ය.


ඒ අතර ජනාධිපති අනුර තමා සතුව තෙල් ළිඳක් නොමැති බවත්, තමා තෙල් සමාගම් නියෝජිතයෙක් නොවන බවත්, මිල වැඩි කරන්නේ ඔහුට හා රජයට ලාභ ලබන්නට නොවන බවත්, ලෝක වෙළඳපොලේ මිල ඉහල යෑම ඔහුට පාලනය කරන්නට බැරි බවත්, යුද්ධය දිගටම පැවතුනොත් මොනවා වෙයි දැයි ඔහුට කියන්නට බැරි බවත් කියා සිටියේය.


මෙහි “ලාභ ලබන්නට නොවේ” යන ඔහු කිවූ කොටස ඉතා වැදගත් වේ. පෙබරිවාරි මිලට මිලදීගෙන වැඩි මිලට විකිණීමේදී ආණ්ඩුව ජනතාවගෙන් ලබන අයුතු ලාභය රු. බිලියන 7.1 ක් බව චම්පික රණවක මහතා පෙන්වා දී ඇත.


ජනාධිපති අනුර, එවකට විපක්‌ෂ මන්ත්‍රී කෙනෙක් ලෙස 2010 සිටම තෙල් මිල වැඩිවූ සෑම විටම කියූ දේවල් සහ ජවිප අය කියූ දේවල් මේ දිනවල සමාජ මාධ්‍ය තුල උණු කැවුම් සේ සංසරණය වෙයි. මේ සටහනට වැදගත් වන ඉන් කීපයක් පමණක් මෙසේ මතක් කරගමු.
*අනුර (විවිධ අවස්ථා වල): ලෝක වෙළඳපොළේ වැඩි කරනකොට මෙහෙ වැඩි කරන්න මොකටද ආණ්ඩුවක්?
*අනුර (සිරිසේන/රනිල් සමයේ) : බොරු සූත්‍ර එපා, වහා මිල අඩු කරනු! (ලෝකයේ තෙල් මිල වැඩි වෙමින් පැවතුනි).
*හඳුන්නෙත්ති (ගෝඨාභය සමයේ): “වාරයේ ගොඩබාන මිල මෙච්චරයි, බදු ගහලා තියනවා මෙච්චරක්, මේවා සහගහන වැඩ, මිල අඩු කරන්න බැරි මේ ආණ්ඩුව ගහන බදු නිසා, මෙයාල තෙල් වලට බදු ගහලා නෙවෙයි, බදු වලට තෙල් ගහලා”, යනුවෙනි.


*ටිල්වින් (ගෝඨාභය සමයේ): “ලෝක වෙළඳපොළේ මිල වැඩි වෙනකොට කරන්න ඕනේ මෙහෙ වැඩි කරන එක නෙවෙයි, තෙල් මත ගහලා තියන බදු අඩු කරන එක, එහෙම කරලා මිල අඩු කරනු කියලා අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා.”

ජනප්‍රිය පුවත්  සුචරිතවාදයෙන් බැටකන ජවිපෙ ආණ්ඩුකරණය සහ දියවී යන බල සංකේන්ද්‍රණය


ඒ අතරම, මෙම මිල ඉහල දැමු පසු ආණ්ඩුවේ ප්‍රචාරණ අංශය බොහෝ පොස්ට් ගණනක් සාදමින් කියා සිටියේ “මතකද යුද්ධයක් නැති වෙලාවෙත් ගෝඨාභය/ රනිල් ප්‍රෙට්‍රල් 400ට වඩා වැඩියෙන් වික්කා”, යුද්ධය තියෙද්දීත් අනුර වැඩි කලේ රුපියල් 24ක් විතරමයි”, යනුවෙනි.


මේ සියලු කාරණා වල සත්‍ය/ අසත්‍ය අපි දත්ත මගින් සොයා බලමු.
මේ සඳහා අප 2010 ජනවාරි සිට 2026 මාර්තු දක්වා ජනාධිපතිවරුන් පස්දෙනෙකුගේ කාල වකවානු තුළ පහත දැක්වෙන මාසික දත්ත කාණ්ඩ තුනක දත්ත විශ්ලේෂණය කරමින් සංසන්දනය කළෙමු.

  • “බ්‍රෙන්ට්” බොරතෙල් මිල (Brent crude oil – US$/barrel)
  • සාමාන්‍ය පෙට්‍රල් 92 සිල්ලර මිල (Petrol 92 retail price – LKR/liter) (90 ඔක්ටේන් 2014 ජනවාරි තෙක්)
  • රජයේ ඇස්තමේන්තුගත ලාභය (Estimated government profit margin- LKR/liter)
    ආවරණය වන කාල සීමාවන් වන්නේ,
  • මහින්ද රාජපක්ෂ: 2010 ජනවාරි – 2014 දෙසැම්බර්
  • මෛත්‍රීපාල සිරිසේන: 2015 ජනවාරි – 2019 නොවැම්බර්
  • ගෝඨාභය රාජපක්ෂ: 2019 දෙසැම්බර් – 2022 මැයි
  • රනිල් වික්‍රමසිංහ: 2022 ජූනි – 2024 සැප්තැම්බර්
  • අනුර කුමාර දිසානායක: 2024 ඔක්තෝබර් – 2026 මාර්තු
    මේ විශ්ලේෂණය සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් භාවිතා කරන මිල ව්‍යුහය (Pricing structure), නැතහොත් මිල සුත්‍රය ලෙස ප්‍රසිද්ධ සමීකරණය යොදා ගත්තෙමු.
    MRP = V1 + V2 + V3 + V4 + V5 + V6 + V7
    මෙහි:
  • V1 = ගොඩබෑමේ පිරිවැය (Landed cost per liter)
  • V2 = සැකසුම් පිරිවැය (Processing cost per liter)
  • V3 = තොග පවත්වාගැනීමේ පිරිවැය (Stockholding cost per liter)
  • V4 = බදු (Taxes per liter)
  • V5 = අනෙකුත්/වෙනත් පිරිවැය (Other costs per liter)
  • V6 = ලාභ ආන්තිකය (Profit margin per liter)
  • V7 = පිරිපහදු පිරිවැය ඉතිරිකිරීම් (Refinery cost savings per liter)
    නිල වශයෙන් මිල සුත්‍රය මුලින්ම යොදාගත්තේ 2018 මැයි සිට උවද මේ 2010-2026 කාලය සඳහා පොදු ක්‍රමවේදයක් ලෙස CPC අගයන් වලට මෙම සමීකරණය යෙදීමෙන් සියළු V අගයන් ගණනය කර ඇත.
  • V1 (ගොඩබෑමේ පිරිවැය ආසන්න අගය): බ්‍රෙන්ට් මිල (Brent) → රුපියල්/ලීටරයකට පරිවර්තනය කිරීම
  • V2 (සැකසුම් පිරිවැය): V1 න් 6.6% කි
  • V3 (පරිපාලන පිරිවැය): V1 න් 4% කි
    එබැවින්:
  • බදු වලට පෙර ඇස්තමේන්තුගත පිරිවැය (Estimated cost before tax/residual) = V1 + V2 + V3
  • රජයේ ඇස්තමේන්තුගත ලාභ ආන්තිකය (Estimated govt margin) = සිල්ලර මිල – (V1 + V2 + V3)
    වැදගත්: මෙය CPC දත්ත භාවිතා කරමින් නිවැරදි ක්‍රමවේදයට සිදුකල විශ්ලේෂණාත්මක ඇස්තමේන්තුවක් මිස CPC මගින් නිල වශයෙන් ඉදිරිපත් කළ අගයන් නොවේ.

  • වැදගත්: පෙට්‍රල් 92 මිල මාර්තු 1 වන දා පැවති රු. 293 සිට මාර්තු 10 වන දා රු. 317 දක්වා (රු. 24 කින්) ඉහළ ගියේය. මාර්තු මාසයේ ගණනය කිරීම සඳහා පෙබරවාරි සාමාන්‍ය බොරතෙල් මිල සහ පෙබරවාරි සාමාන්‍ය විනිමය අනුපාතිකය (FX) භාවිතා කරන ලදී.
  • දැන් අපි 2010 සිට ඒ ඒ පාලන යුගයෙන් සංසන්දනය කර බලමු.

  • මෙහිදී ඒ මුළු පාලන කාලය තුල,
  • උපරිම බොරතෙල් මිල:
  • අවම බොරතෙල් මිල:
  • සාමාන්‍ය බොරතෙල් මිල (Average crude, එනම් සියළුම අගයන්හි මධ්‍ය අගය)
  • රජයේ උපරිම ලාභය ලැබූ අවස්ථාව
  • රජයේ අවම ලාභය ලැබූ අවස්ථාව
  • රජයේ සාමාන්‍ය ලාභය (Avg govt profit/tax margin):
    2010 ජනවාරි සිට 2026 මාර්තු දක්වා සියළුම මාස වල සියලු අගයන් භාවිතා කර අඳින ලද ප්‍රස්ථාර ඇසුරින් ඒ ඒ පාලන කාලයන්හි අගයන් මෙසේ දක්වා සිටිමු.

  • අනුර දිසානායක පාලනයේ ප්‍රස්ථාරය මෙම සටහනේ පින්තුරය ලෙස අමුණා ඇති අතර අනෙකුත් පාලන කාලයන්හි ප්‍රස්ථාර කමෙන්ටු වල අමුණා ඇත.
    1) මහින්ද රාජපක්ෂ (2010–2014):
  • උපරිම බොරතෙල් මිල = $125.45 (2012- March) / Barrel
  • අවම බොරතෙල් මිල = $ 62.34 (2014-12)/ Barrel
  • සාමාන්‍ය බොරතෙල් මිල = $102.02 / Barrel
  • රජය ලීටරයකින් උපරිම ලාභය ලැබූ අවස්ථාව = Rs. 90.39 (2014- December)
  • රජය ලීටරයකින් අවම ලාභය ලැබූ අවස්ථාව = Rs. 24.68 (2011- March)
  • රජයේ ලීටරයකින් ලැබූ සාමාන්‍ය ලාභ ආන්තිකය = Rs. 52.71/ Liter
    විග්‍රහය: 2008-2010 ගෝලීය ආර්ථික අවපාතයෙන් පසු බොර තෙල් මිල 2010-2014 මුළු කාලපරාසය තුලම වාගේ ඉතා ඉහළ අගයක පැවතුනි. නමුත් ලාභය අවම මට්ටමේ තබාගෙන ජනතාවට යම් සහනදායි මිලකට ඉන්ධන ලබා දුනි.
    2) මෛත්‍රීපාල සිරිසේන (2015–2019 නොවැම්බර්):
  • උපරිම බොරතෙල් මිල = $81.03 (2018- Oct) / Barrel
  • අවම බොරතෙල් මිල = $ 30.70 (2016-January)/ Barrel
  • සාමාන්‍ය බොරතෙල් මිල = $56.94 / Barrel
  • රජය ලීටරයකින් උපරිම ලාභය ලැබූ අවස්ථාව = Rs. 83.33 (2016- January)
  • රජය ලීටරයකින් අවම ලාභය ලැබූ අවස්ථාව = Rs. 35.35 (2018- April)
  • රජයේ ලීටරයකින් ලැබූ සාමාන්‍ය ලාභ ආන්තිකය = Rs. 58.39/ Liter

  • විග්‍රහය: මෙම කාලය ගෝලීය වශයෙන් බොර තෙල් මිල පහළ අගයක පැවතුනි. ඒ නිසා රටේ තෙල් මිලද සාපේක්‍ෂව අඩු විය.

  • 3) ගෝඨාභය රාජපක්ෂ (2019 දෙසැම්බර්–2022 මැයි):
  • උපරිම බොරතෙල් මිල = $117.25 (2022-March) / Barrel
  • අවම බොරතෙල් මිල = $18.38 (2020-April)/ Barrel
  • සාමාන්‍ය බොරතෙල් මිල = $64.51 / Barrel
  • රජය ලීටරයකින් උපරිම ලාභය ලැබූ අවස්ථාව = Rs. 131.48 (2022- May)
  • රජය ලීටරයකින් අවම ලාභය ලැබූ අවස්ථාව = Rs. 36.21 (2022-January)
  • රජයේ ලීටරයකින් ලැබූ සාමාන්‍ය ලාභ ආන්තිකය = Rs. 64.88/ Liter

  • විග්‍රහය: මෙම කාලය ගෝලීය වශයෙන් දැඩි අස්ථාවරත්වයකින් යුක්ත විය. එසේ වුවද, සාමාන්‍ය ලාභ ආන්තිකය, ණය පැහැර හැරීමේ (Post-default) යුගයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුනි. සරලව කිවහොත්, ගෝලීය අර්බුදයක් මධ්‍යයේ වුවද, පසුව පැමිණි කාල සීමාවන්ට වඩා පාරිභෝගිකයා මත පැටවූ බර සාපේක්ෂව අඩු විය.
    4) රනිල් වික්‍රමසිංහ (2022 ජූනි–2024 සැප්තැම්බර්):
  • උපරිම බොරතෙල් මිල = $122.71 (2022-June) / Barrel
  • අවම බොරතෙල් මිල = $ 74.02 (2024-Sept)/ Barrel
  • සාමාන්‍ය බොරතෙල් මිල = $86.52 / Barrel
  • රජය ලීටරයකින් උපරිම ලාභය ලැබූ අවස්ථාව = Rs. 218.26 (2022- Sept)
  • රජය ලීටරයකින් අවම ලාභය ලැබූ අවස්ථාව = Rs. 127.35 (2022-Oct)
  • රජයේ ලීටරයකින් ලැබූ සාමාන්‍ය ලාභ ආන්තිකය = Rs. 164.59/ Liter
    විග්‍රහය:

  • මෙම යුගය ආරම්භ වූයේ තෙල් මිල ඉහළ යාම සහ ණය පැහැර හැරීමේ කම්පනය මධ්‍යයේය. (ඩොලරයක්, රුපියල් 380 ක් දක්වා ඉහල ගොස් තිබිණි). සමස්ත සංසන්දනය තුළ ආණ්ඩුව වැඩිම ලාභයක් ලැබූ කාලයයි. මෙහිදී විශේෂයක් ඇත. එනම්, බංකොලොත් ලෙස ප්‍රකාශිත රටක ආර්ථිකය නැවත ස්‌ථාවර කිරීම සඳහා IMF මගින් කියූ ලෙස මිල අගයන් වෙනස් කර තිබුණි.
    5) අනුර කුමාර දිසානායක (2024 ඔක්තෝබර්–2026 මාර්තු):
  • උපරිම බොරතෙල් මිල = $79.27 (2025-Jan) / Barrel
  • අවම බොරතෙල් මිල = $ 62.54 (2025-December)/ Barrel
  • සාමාන්‍ය බොරතෙල් මිල = $70.08 / Barrel
  • රජය ලීටරයකින් උපරිම ලාභය ලැබූ අවස්ථාව = Rs. 157.93 (2026-March)
  • රජය ලීටරයකින් අවම ලාභය ලැබූ අවස්ථාව = Rs. 132.93 (2026- February)
  • රජයේ ලීටරයකින් ලැබූ සාමාන්‍ය ලාභ ආන්තිකය = Rs. 149.14/ Liter
    විග්‍රහය:

  • බංකොලොත් බැවින් නිල ලෙස මිදුණු සාමාන්‍ය ආර්ථික තත්වයක් සහිතව රටේ පාලනය ලැබිණි. යුද්ධයට පෙර බොර තෙල් මිල සමස්ථයක් ලෙස පහළ අගයක පැවතුනි. නමුත් රජය සමස්ථයක් ලෙස ලිටරයකින් රුපියල් ~150 ක ලාභයක් ලබමින් සිටියේය. දැන් එම පෙර මිලට මිලදී ගත් තෙල් වලින් මාර්තු මාසය පුරා මිනිසුන්ට විකුණමින් රු. බිලියන 7.1 ක අමතර ලාභයක්ද ලබමින් ඇත. මෙයින් කියවෙන්නේ ඔවුන් විපක්‍ෂයේ සිටින විට කියූ ඒවා කිසිත් නොකරන බව පමණක් නොවේ. එයට එහා ගොස් හුදු ලාභය, සහ සමාගම් වලට අමතර ලාභයක් ගෙන එම පිණිස සිදු නොකළ යුතුව තිබූ මිල වැඩිකිරීමක් කිරීමට පවා දෙවරක් නොසිතන බවයි. එය ඉදිරියේදී මීටත් වඩා හොඳින් ඔප්පු කර පෙන්වාවි යන්න නියතයකි.

  • නමුත් කළ යුතුව තිබුනේ, තාමත් කරන්නට හැක්කේ (විපක්‍ෂයේ සිට කිවූ පරිදි), මේ ලබන ලාභය/ බදු යම් ප්‍රතිශතයකින් අඩු කර, ජනතාවට යම් අස්වැසිල්ලක් ලබා දීමයි. මේ ක්‍රියාව නිසා සිදු වන්නේ සියලු භාණ්ඩ සහ සේවා මිල ඉහල ගොස් රටේ ජනතාව කබලෙන් ළිපට වැටීමයි.

  • අනුර පාලනය ගැන සමස්ත චිත්‍රය
  1. බොරතෙල් මිල ඉහළ යාම යනු ස්වයංක්‍රීයවම දේශීය මිල ඉහළ යාම නොවේ. (පෙර යුගයන්හි යම් පාලනයක් පෙන්නුම් කර ඇත). නමුත් අනුරගේ පාලනයේ ඇත්ත වැඩිවීම දැනෙන්නටත් පෙර අප මත වැඩිවීමේ බර පටවා ඇත.
  2. ඉදිරියේ බොරතෙල් මිල අඩුවීමෙන් පාරිභෝගිකයාට සහනයක් ලැබෙන බවට සහතිකයක් නැත. (අප කලින් පොස්ටුවක පෙන්වා දුන් පරිදි අනුර, පසුගිය මාස 9 යේ තෙල් මිල විශාල ලෙස අඩු වුවද එහි සැබෑ වාසිය ජනතාවට දුන්නේ නැත. ඒ ගැන කියැවෙන අපගේ පොස්ට් එක කමෙන්ට් එකක දමා ඇත).
    උණුසුම්කාරී තත්ත්වය දිගටම පැවතුනහොත්, ශ්‍රී ලංකාවට බොරතෙල් මිලෙන් පමණක් නොව පහත සඳහන් කරුණු වලින්ද අවදානමක් පවතී:
  • නැව් ගාස්තු සහ රක්ෂණ පිරිවැය (Shipping + insurance costs)
  • පිරිපහදු කිරීමේ බාධා (Refinery disruptions)
  • ඩීසල් වෙළඳපොළේ හිඟතාවය (Diesel market tightness)
  • ගල්ෆ් කලාපයේ සැපයුම් පීඩනය (Supply-chain stress)

  • ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යාම යනු “ඉන්ධන” පමණක් නොවන අතර එය දාම ප්‍රතික්‍රියාවක් (Ripple effect) ඇති කරයි: ඒ අනුව,
  • ප්‍රවාහන වියදම් ඉහළ යයි.
  • ආහාර නිෂ්පාදනයේ හා බෙදා හැරීමේ පිරිවැය ඉහළ යයි.
  • කෘෂිකාර්මික හා ධීවර වියදම් ඉහළ යයි.
  • නිෂ්පාදන හා සේවා පිරිවැය ඉහළ යයි.
  • ඊට අමතරව සියලුම සේවා වියදම් ඉහල යාමෙන් ගෘහස්ථ ජීවන වියදම ඉහළ යයි.

  • එනම් මුළු ආර්ථිකයටමත්, සියලු ජනයාටමත් එල්ල වන කම්පනයකි. මෙම දත්ත අපට පෙන්වා දෙන්නේ පෙර රජයන් (විශේෂයෙන් වැඩි බොරතෙල් මිල තත්ත්වයන් යටතේ) ලබන ලාභය යම්කිසි පාලනයක් කරමින් කම්පනය අවම කිරීමට උත්සාහ කළ බවයි. නමුත් “76 වසරක සාපෙ” කතාවෙන් ඒ ගැන වෙනත්ම චිත්‍රයක් මිනිසුන්ගේ ඔලුවලට/ හදවත් වලට කාවද්දවා ඇත.

  • ඉදිරියට එන්නේ ස්වභාව ධර්මය විසින් එම බොරු, වංචාවලට පිළිතුරු දෙන කාලයයි. එය අනුර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුවට වඩාත් රසවත් කාලයක් ගෙන එන බවට නොඅනුමානයි.
ජනප්‍රිය පුවත්  හන්ගල ගහන U.S. ගිවිසුම

Sarathi Ratnayake

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x