අඳබාල බලය
1 min read
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එම නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දක්වන ලද්දේ අතිශය ආක්‍රමණශීලී හා උඩඟු ආකාරයට ය ඔහු වරෙක ප්‍රකාශ කළේ තමන් යනු නීතිපතිවරයා යැයි ගම් වන ආකාරයට ය.
සමන් ඒකනායක ජනාධිපතිවරයකුගේ හිටපු ලේකම් කෙනෙකි. ඔහු පරිපාලන සේවයේ සිටිය ජ්‍යෙෂ්ඨතම හා වගකිවයුතු නිලධාරියෙකි. ඔහු තම ප්‍රධානියා පිළිබඳ කරුණු වලදී මුදල් වෙන් කිරීමට නියෝග දෙනු ලබන්නේ නොදැනුවත්භාවයෙන් නොවේ. එහෙත් දැන් සිදුවී ඇත්තේ ඔහු තම ප්‍රධානියා වෙනුවෙන් ගනු ලැබූ තීන්දුවකට අදාළව සිරගත වීමට ය.
මේ ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරු සහ ජනාධිපති ලේකම් දක්වා සියල්ලෝම මෙයින් පාඩමක් උගත යුත්තේ ය. තම දේශපාලන ප්‍රධානියාගේ නිල කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කිරීම අනුමත කිරීමේදී ඔවුන් බොහෝ සෙයින් පරික්ෂාකාරී විය යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ ඔවුනට ද හිරේ යාමට සිදුවීම ය.
රාජ්‍ය පරිපාලන සේවය බලය පෙන්වා හික්මවීමට යාම අතිශය විනාශකාරී ය. එවිට සිදුවන්නේ රාජ්‍ය පරිපාලන සේවය ආකාර්මණ්‍ය වීම ය. ඔවුන් තැති ගැන්මකට පත් කිරීම යනු කිසිවක් සිදු නොවීම ය. බලය වෙනුවට කළ යුත්තේ සංස්කෘතිය බලගැන්වීම ය. අතීතයේ රාජ්‍ය සේවකයා මෙන්ම දේශපාලන අධිකාරිය ද හික්මවන ලද්දේ සංස්කෘතියෙන් මිස බලයෙන් නොවේ. සංස්කෘතික පරිවර්තනය ආදේශ කළ යුතු තැනට, බලාධිකාරීය ආදේශ වීමෙන් සිදුවන්නේ පද්ධතිය අකර්මණ්‍ය වීම ය. අනුර කුමර ජනාධිපතිගේ ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ එම විනාශය යි.
පද්ධතිය අකර්මන්‍ය වූ විට රාජ්‍යය අකර්මන්‍ය වේ. එවිට, රාජ්‍ය පැහැර ගැනීමට හෝ අත්පත් කර ගැනීමට බාහිර පාර්ශ්වයන්ට වැඩි අවස්ථාවක් නිර්මාණය කර දේ. ඔලුව අවශ්‍ය තැනට බලය යෙදවීම විසින් ඇති කරන හානිය එයයි.
එය නොතේරෙන මෝඩ පාලකයන් විසින් නිර්මාණය කරනුයේ එම අසමත්භාවය යි.
බලය සාපේක්ෂය. සංස්කෘතිය දිගුකාලීන ය. සංස්කෘතිය බලගැන්වීමෙන් කළ හැකි දේ බලය බල ගැන්වීමෙන් කළ හැකි නොවේ. අඳ බාල බලය ලත් මෝඩයන් නොදන්නේ එය මය. එයින් ඇතිවන්නේ සුළුපටු විනාශයක් නොවේ.
