January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උඩරට එළවළු 42%ක් පහතරට 37%ක් විනාශයි

1 min read

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු වගාවෙන් 42%ක් ද පහතරට එළවළු වගාවෙන් 37%ක් ද විනාශ වී ඇතැයි කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

කුඹුරු සහ එළවළු ඉඩම්වලට ජලය සපයා ගැනීම සඳහා ඉඩම්වල තිබූ ජල පොම්ප සහ

ජල නළ රැසකට ගංවතුරෙන් හානි සිදුවී තිබෙන බැවින්, ඊට අදාළව යම් වන්දි මුදලක් ලබාදීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි පැවසීය.

හෙක්ටයාර් හතරක්,පහක් ඇතුළත ජල පොම්ප එකක්,දෙකක් පමණ ස්ථාන ගතකර පැවැති බවද ඔහු පැවසුවේය.

ඒ අනුව 08/2025 අයවැය චක්‍රලේඛයේ කුමන අංකයක් යටතේ ඊට වන්දි ලබා දෙනවාද යන්න සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කීවේය. එමෙන්ම ගොවීන් සිය ආහාරය සඳහා ගබඩා කරගෙන තිබූ වී තොගද ගංවතුරට හසුවී තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

හතු තවාන් රැසකටද ආපදා තත්ත්වයෙන් හානි සිදුවී ඇති බවත්, ඒවාටද වන්දි ගෙවීමට කටයුතු කෙරෙන බවද ඔහු කීවේය.

මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් 869,000 ක වී වගා කිරීමට සැලසුම් කර තිබූ බවත්, ඉකුත් නොවැම්බර් 28 වැනිදා වනවිටදී ඉන් හෙක්ටයාර් 635,000 ක වී වගාකර තිබූ බවද ඔහු පැවසුවේය. මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් 68,000 ක පමණ නැවත වී වගා කිරීමට නොහැකි වනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. එතරම් කුඹුරු ඉඩම් ප්‍රමාණයක වී වගා කිරීමට නොහැකි වූවත් මෙවර මහ කන්නයේ වී වගා කිරීමට නියමිතව තිබූ ඉලක්කය ඉකුත් වසරවලට සාපේක්ෂව වැඩි අගයක පැවැති බැවින් වී අස්වැන්නේ ගැටලුවක් ඇති නොවන බවද ඔහු පැවසීය. උඩරට එළවළු වගාව (කැරට්, ලීක්ස්, බීට් ආදිය) හෙක්ටයාර් 20,000 ක් පමණ වගා කිරීමට සැලසුම් කර තිබූ බවත්, ආපදාව සිදුවන අවස්ථාවේදී ඉන් හෙක්ටයාර් 6,000 ක් පමණ වගා කර පැවැති බවද ඔහු කීවේය.

ජනප්‍රිය පුවත්  නිකන් දුන්න සහල් වලටත් බදු

උඩරට එළවළු වගා කරන ලද භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 2,500 කට පමණ හානිවී තිබූ බවත්, උඩරට එළවළු වගාවට සිදුවූ හානිය සියයට 42 ක් පමණ වන බවද ඔහු පැවසුවේය. මහ කන්නයේදී පහත රට එළවළු හෙක්ටයාර් 30,000 ක් පමණ වගා කිරීමට ඉලක්ක ගතව පැවැති බවත්, ආපදාව සිදුවන අවස්ථාවේදී ඉන් හෙක්ටයාර් 9,000 ක පමණ එළවළු වගාකර තිබූ බවද, වගා කරන ලද භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 3,500 ක් පමණ හානිවූ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. පහත රට එළවළු වගාවට සිදුවූ හානිය ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට 37 ක් පමණ වන බවද ඔහු කීවේය.

ලංකාවේ එළවළු මිල සම්බන්ධව වසර 20 ක දත්ත පරීක්ෂා කිරීමේදී වසරකට අවස්ථා දෙකකදී මිල උච්චාවචනය වන බවත්, ජුනි, ජූලි මාසවල සහ නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි යන මාසවලදී මෙලෙස මිල ඉහළ යන බවද ඔහු පැවසීය. ජනවාරි මාසය පමණ වනවිටදී එළවළු මිල ගණන් ඉහළ යන නිසා ගෙවතු ලක්ෂයක කෙටිකාලීන භෝග වගා කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

ජනප්‍රිය පුවත්  අයහපත් කාලගුණය නිසා මියගිය ගණන 56 දක්වා ඉහළට

පර්චස් 20 වැනි කුඩා ඉඩම්වල ගෙවතු වගා තුළ බණ්ඩක්කා, තම්පලා, රාබු, පලා වර්ග ආදිය වගා කිරීමට බීජ කට්ටල බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයිද ඔහු කීවේය. හෙක්ටයාර් 102,000 ක පමණ බඩඉරිඟු වගා කිරීමට ඉලක්කයක් පැවැති බවත්, ආපදාව සිදුවන අවස්ථාව වනවිටදී හෙක්ටයාර් 91,000 ක පමණ බඩඉරිඟු වගාකර තිබූ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. අනෙකුත් ක්ෂේත්‍ර භෝග ගත්විට බඩඉරිඟු වගාවේ සියයට හයක පමණ හානියක් වාර්තා වන බවද ඔහු පැවසීය.

ලොකු ලූනු, මුං, කව්පි, අර්තාපල් ආදිය හෙක්ටයාර් 65,000 ක වගා කිරීමට ඉලක්ක ගතව පැවැති බවත්, ආපදා අවස්ථාව වනවිටදී ඉන් හෙක්ටයාර් 26,000 ක් වගාකර තිබූ බවද ඔහු කීවේය. ඉන් හෙක්ටයාර් 9,000 කට හානිවී තිබූ බවද ඔහු සඳහන් කළේය.

මෙම භෝග වලට සිදුවූ හානිය සියයට 34 ක පමණ හානියක් බවද ඔහු කියා සිටියේය.

එම ඉඩම්වල යළි කෙටිකාලීන එළවළු වගා කිරීමේ හැකියාව ඇතැයිද ඔහු සඳහන් කළේය. මුං සහ තල හැරෙන්නට අනෙකුත් දෑ රටට අවශ්‍ය ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය නොවන බැවින්, අඩුපාඩුවක් පවතීනම් පමණක් ඒවා යම් ප්‍රමාණයක් ගොවීන්ට අසාධාරණයක් නොවන පරිදි බදු ඉහළ දමා රටට ආනයනය කිරීමට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  මෙහේ අත්සන් කරන්න තිබුණ ගිවිසුම එහේ අත්සන් කරති!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x