November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

”ට්‍රම්ප් කාඩ්” එක

1 min read

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දිනවල තමන්ගේ ”ට්‍රම්ප් කාඩ්’‘ එක බවට පත්කරගෙන තිබෙනුයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මතවාදයයි. එම මතවාදයට මුවා වී ඔහු සිදු කරමින් ඇත්තේ වෙනිසියුලාව, මෙක්සිකෝව, කොළොම්බියාව සහ චීනය වැනි රාජ්‍යයන්ට එරෙහිව විවිධ ක්‍රියා මාර්ග ගැනීම ය. වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට සූදානම් වන්නේත්, වෙනිසියුලානු වැසියන් මහ මුහුදේ දී පහර දී මරා දමන්නේත් මෙම මත්ද්‍රව්‍ය විරෝධී කතාව ඉදිරියට ගෙන එමින් ය. ට්‍රම්ප්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ විෂ මත්ද්‍රව්‍ය ගෙන එන්නේ මේ රටවල් විසිණි. එබැවින්, මත්ද්‍රව්‍ය තුරන් කිරීම උදෙසා මේ රටවල් මට්ටු කළ යුතුය. ඒ සඳහා ගනු ලබන ඕනෑම පියවරක් සාධාරණය.

වෙනිසියුලාව වාමාංශික දේශපාලන නායකත්වයක් යටතේ පවතින රාජ්‍යයකි. හියුගේ චාවේස්ගේ නායකත්ව සමයේ සිට එය ඇමෙරිකන් අධිරාජ්‍යවාදයට එරෙහි රටකි. එහි වාම පාලනය කවර අයුරකින් හෝ පෙරලා දැමීමට ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ දරන්නේ දැන් බොහෝ කලක සිට ය. වෙනිසියුලාව සතු විශාල තෙල් නිධි අයිතිකර ගැනීම මේ උත්සාහය පතුළේ ඇති අරමුණ ය. මෙක්සිකෝව, කොළොම්බියාව හා චීනය ද ඇමෙරිකානු හිතවාදී රාජ්‍යයන් නොවේ. මේවාට එරෙහි ක්‍රියාමාර්ග සාධාරණිකරණය කිරීම උදෙසා මතවාදී ආවරණයක් තිබිය යුතුය. ඉරාකය ආක්‍රමණය කළේ සදාම් හුසේන් සතුව ජෛව ප්‍රහාරක අවි ඇතැයි යන බොරුව වපුරාය. එබදු බොරු පනගන්වා තම යටි අරමුණු සඵල කර ගැනීම ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රමය වේ. ඉහත කී රාජ්‍යයන්ට එරෙහි සියළු ක්‍රියාමාර්ග සාධාරණිකරණය කිරීම පිණිස ට්‍රම්ප් ජනාධිපතිවරයා යොදාගනු ලබන ”ට්‍රම්ප් කාඩ්” එක මත්ද්‍රව්‍ය විරෝධය යි. එයට මුවා වූ විට ඕනෑම දුෂ්ඨ ක්‍රියාවක් සිදු කළ හැකියැයි ජනාධිපති ට්‍රම්ප් සිතන බව පැහැදිළි ය.

ලංකාවේ ජනාධිපති අනුර කුමාර ද දැන් පියනගන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා තෝරා ඇති මේ මාවතේම ය. ඔහුට අනුව බිහිසුණු විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියක් ඇත.! සැබැවින්ම එය නිවැරදිය. ඔහුගේ පාලන කාලය තුළ එය වඩාත් ප්‍රබලව ව්‍යාප්ත වී ඇති බව ඊටත් වඩා නිවැරදි ය.

ඒ කුමක් වුවත් ලංකාවේ ජනාධිපති අනුර කුමරුන් ද දැන් අවි ඔසවා ඇත්තේ විනශකාරී මත්ද්‍රව්‍ය රකුසාට එරෙහිව ය. හෙතෙම දැන් ඊට එරෙහිව මහ සමුළු පවත්වනු ලබන්නේය. මත්ද්‍රව්‍ය විරෝධී සටන ප්‍රචාරක තලයේදී ඉහළටම ඔසවා තබන්නේ ය. එසේ කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම හා බලය හොබවන ලද දේශපාලනඥයන් අතර සබඳතා ඇති බව ද රටට කියන්නේ ය. අවශ්‍ය අයගේ නම් ඒ කතාවට ගැලපෙන පරිදි ආදන්නේ ය. එවිට, මත්ද්‍රව්‍ය විරෝධය නාමයෙන් තෝරාගත් විපක්ෂ දේශපාලඥයන් දඩයම් කිරීමට හැකි වාතාවරණය නිමවා ගනු ලබන්නේ ය. හරියට, වෙනිසියුලාවට, කොළොම්බියාවට, මෙක්සිකෝවට හා චීනයට ගහන්න ජනාධිපති ට්‍රම්ප් මත්ද්‍රව්‍ය විරෝධයේ ”ට්‍රම්ප් කාඩ් එක” ගසන අයුරින්ම ය.

ජනප්‍රිය පුවත්  හිල් ඇති "ජොකා" ලාගේ මූල්‍ය විනය !

ජනාධිපති අනුරගේ ”ට්‍රම්ප් කාඩ් එක”ත් ජනාධිපති ට්‍රම්ප්ගේ ”ට්‍රම්ප් කාඩ් එක”ත් ඒ අනුව දෙකක් නොව එකකි. ට්‍රම්ප් ජනාධිපතිවරයා එම ”ට්‍රම්ප් කාඩ් එක” හරහා ඉලක්ක කරන්නේ එක්සත් ජනපදයට එකඟ නැති රාජ්‍යයන් කිහිපය කි. අනුර ජනාධිපතිවරයා එම ”ට්‍රම්ප් කාඩ් එක” හරහා ඉලක්ක කරන්නේ තම ආණ්ඩුවට එරෙහි දේශපාලඥයන් කිහිප දෙනෙකි. ඒ අනුව, ට්‍රම්ප්ගේ මඟපෙන්වීම ලංකාවේ ජනාධිපති අනුරට හොඳින්ම ලැබී තිබෙන බව පැහැදිළිය. කෙසේ වෙතත්, ”ට්‍රම්ප් කාඩ් ” හැම විටම ජය ගෙන නොදෙන බව ඒ ට්‍රම්ප්ලා සහ මේ ට්‍රම්ප්ලා දැන ගෙන සිටීම දේශපාලන සෞඛ්‍යයට හිතකර බව කිව යුතුය.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x