November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..

1 min read

පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පොලිස් ස්ථාන තුළදී මියයාමේ සිදුවීම් සම්බන්ධයෙන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් පුරවැසි සංවිධානයක් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන්ගේ මරණ සම්බන්ධයෙන් මීට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශ පොලිස්පතිවරයා විසින් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම මෙම පැමිණිල්ලට ප්‍රධාන හේතුව බව එම සංවිධානයේ කැඳවුම්කරු රවීන්ද්‍රන් නිශ්ශංකර් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

පසුගිය වසර පහක කාලය තුළ පමණක් පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් පනහකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව පෙන්වා දුන් ඒ මහතා, පොලිස් නිලධාරීන්ගේ කෲර වධහිංසා සහ සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව කියා සිටියේය.

මෑතකදී හෝමාගම මූලස්ථාන පොලිසියේදී සැකකරුවකු මියයාම සහ ඊට සම්බන්ධ හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුගේ වැඩ තහනම් කිරීම මෙයට ආසන්නම උදාහරණය බවද ඔහු පැවසීය.

ජනප්‍රිය පුවත්  චීනයේ Gravity-1 මෙහෙයුම සාර්ථකයි

එමෙන්ම, වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති සහ චෝදනා පත්‍ර ලැබී ඇති නිලධාරියෙකු පුද්ගලික හිතවත්කම් මත හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත් කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම නිලධාරියා එම තනතුරට නුසුදුසු බවට හෝමාගම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාස අටකට පෙර දැනුම් දී තිබුණද, පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව රවීන්ද්‍රන් නිශ්ශංකර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වත්මන් පොලිස්පතිවරයා දේශපාලන උවමනාවන් ඉටු කරමින් සිටින බවට පොලිස් නිලධාරීන් අතරද මතයක් මතුවී ඇති බව පෙන්වා දෙන මෙම සංවිධානය, මානව හිමිකම් කොමිෂන් සභාව ලබාදී ඇති නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත්, එලෙස කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x