සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
1 min read
ගල්කිස්ස, සොයිසාපුර ප්රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 20 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව, අදාළ අපරාධයට ආධාර අනුබල දීම සහ කුමන්ත්රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා ඊයේ (27) ගල්කිස්ස සහ කහතුඩුව පොලිස් වසම්වලදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 සහ 36 වයස්වල පසුවන කහතුඩුව හා රත්මලාන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
