ගෑස් නැත….
1 min read
ප්රදේශ රැසක පසුගිය දින කිහිපය පුරා මතුව ඇති ගෑස් සැපයුමේ අඩාල වීමේ තත්ත්වය අඟහරුවාදා වන විට සම්පූර්ණයෙන්ම සමනය වනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ගෑස් රැගත් නව නෞකා මෙරටට ළඟාවීමත් සමඟ බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඇති බව ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් ප්රකාශ කරයි.
පසුගිය දින කිහිපය තුළ නගර රැසක ගෑස් අලෙවි මධ්යස්ථාන ඉදිරිපිට “ගෑස් නැත” යනුවෙන් පුවරු ප්රදර්ශනය කර තිබූ අතර, හිස් සිලින්ඩර රැගත් පාරිභෝගික ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිමින් දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් ආකාරය දැකගත හැකි විය.
අලෙවිසල් වෙත ලැබෙන්නේ ඉතා සීමිත සිලින්ඩර ප්රමාණයක් බවත්, දින ගණනාවකින් ගෑස් ලබා ගැනීමට නොහැකි වීමෙන් දෛනික ආහාර පිසීමේ කටයුතු පවා අඩාල වී ඇති බවත් ජනතාව මැසිවිලි නැගූහ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ, ගෑස් සැපයුමේ ඇති වූ බාධාවන් කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අවශ්ය සියලු පියවර මේ වන විටත් ගෙන ඇති බවයි.
මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වී එහි ගොඩබෑමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, තවත් මෙට්රික් ටොන් 3,900ක නෞකාවක් අද (18) දිනයේ මෙරටට ළඟාවීමට නියමිත බව එම සමාගම පෙන්වා දෙයි.
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා සඳහන් කළේ, දින දෙකක කාලයක් බෙදාහැරීමේ කටයුතු නතර කර තිබීම හේතුවෙන් මෙම හිඟය හටගත් බවයි. ඒ අනුව හෙට දිනයේදී කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර 85,000ක් වෙළෙඳපොළට නිකුත් කරන බවත්, ලබන සඳුදා සිට දිනකට සිලින්ඩර ලක්ෂයක් බැගින් දිවයින පුරා බෙදාහැරීම ආරම්භ කරන බවත් හෙතෙම පැවසීය. මෙමගින් ලබන අඟහරුවාදා වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය මුළුමනින්ම අවසන් වනු ඇතැයි සභාපතිවරයා විශ්වාසය පළ කරයි.
මේ අතර, ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති නලින්ද කුරුකුලසූරිය මහතා ප්රකාශ කර ඇත්තේ, සිය සමාගම විසින් ඇණවුම් කරන ලද මෙට්රික් ටොන් 3,800ක සහ මෙට්රික් ටොන් 3,500ක ගෑස් නෞකා දෙකක් පිළිවෙළින් එළඹෙන ඔක්තෝබර් 20 සහ 24 යන දිනවලදී මෙරටට පැමිණීමට නියමිත බවයි. එම නෞකා පැමිණීමත් සමඟ ලාෆ්ස් ගෑස් බෙදාහැරීම ද කඩිනමින් සාමාන්ය අතට හැරෙනු ඇත.
