October 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තේ වගාවට නරක කාලයක්…

1 min read

එල්-නිනෝ බලපෑම මත ලබන වසරේ (2027) ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළදී ප්‍රමාණවත් පරිදි වර්ෂාපතයක් නොලැබුණොත් තේ වගාවට අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වනු ඇතැයි තේ පර්‌යේෂණායතනය සඳහන් කරයි.

තේ පර්‌යේෂණායතනය මෙම තොරතුරු හෙළිකළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පසුගියදා පවත්වන ලද “35 වන මෝසම් කතිකාවතේදී’’ ය.

එල්- නිනෝ තත්ත්වය පාදක කරගෙන තේ වගාව සඳහා කුඩා වැව් සහ අමුණුවලින් ජලය සපයා ගැනීමේ වැඩපිළිවෙළකට යොමුවීමේ අවශ්‍යතාවය පවතින බවද එම ආයතනය පවසයි.

1983 වසරේදී බලපෑ එල්-නිනෝ තත්ත්වයෙන් මෙරට තේ වගාවට දරුණු හානියක් සිදුවී තිබූ බවද එම ආයතනය පවසයි.

ඊට පසුව තේ නිෂ්පාදනයට දරුණු බලපෑමක් ඇතිවූයේ 1992 වසරේදී බවත්, එම වසරේදී විශාල නියඟයක් ඇතිවී තේ නිෂ්පාදනය සියයට 25 කින් පමණ අඩුවී ඇතැයිද එම ආයතනය කියන්නේය.

එම වසරේදී බලපෑ එල් නිනෝ තත්ත්වය අති ප්‍රබල නොවූ බවද තේ පර්‌යේෂණායතනය සඳහන් කරයි.

ඊට පසු එල් නිනෝ තත්ත්වයන්ගෙන් තේ වගාවට බරපතළ බලපෑමක් සිදු නොවූ බවද තේ පර්‌යේෂණායතනය සඳහන් කරන්නේය.

ජනප්‍රිය පුවත්  සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි..

ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා වියළි කාලගුණික තත්ත්වයක් පැවැතියහොත් අනුගමනය කළයුතු කරුණු පිළිබඳව තේ වගාකරුවන්ට මේ වනවිටත් උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර තිබෙන බවද එම ආයතනය කියන්නේය.

තේ වගාව වැසි ජලයෙන් සිදුවන බැවින් එය කළමනාකරණය කර ගැනීමට සිදුවන බවද එම ආයතනය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම ආදී ප්‍රදේශවලට මේ වසරේ පසුගිය කාලයේදී දරුණු නියඟයක් බලපා තිබූ බවත්, මේ නිසා කුඩා තේවතුවල සේම මහා පරිමාණ තේ වතුවලද තේ ගස් රැසක් විනාශවී තිබූ බවද තේ පර්‌යේෂණායතනය සඳහන් කරයි.

ඇතැම් තේ වගාකරුවන් ඉහළ ප්‍රදේශවල අමුණුවලින් අවිධිමත් ආකාරයෙන් තේ වගාවන්ට ජලය සපයා ගෙන තිබූ බවත්, දිට්වා සුළි කුණාටු තත්ත්වයත් සමග ඒවා සියල්ලම විනාශවී ඇතැයි ද එම ආයතනය කියන්නේය.

තේ කිලෝ මිලියන 400 ක ඉලක්කය කරා යෑමේදී අමුණු සහ කුඩා වැව් ආශ්‍රිතව තේ වගාව වඩා හොඳින් ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පවතින බවත්, ගම්පහ, කුරුණෑගල ආදී ප්‍රදේශවල මේ වනවිට ක්‍රමයෙන් තේ වගාව පැතිරෙමින් තිබෙන බවත්, එම තේ වගාවන්ට අමුණුවලින් ජලය සපයා ගත හැකි බවද තේ පර්‌යේෂණායතනය සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය බිඳවැටීමක්!

ලබන වසරේ ජනවාරි මස 15 වැනිදාට පෙර වැසි තත්ත්වය නතර වුවහොත් අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත්, ඊට හේතුව පෙබරවාරි මාසයේදී වැසි තත්ත්වය අඩු නිසා තේ වගාවට විශාල ලෙස හානි සිදුවිය හැකි බවද එම ආයතනය කියන්නේය.

35 වන මෝසම් කතිකාව පැවැතුනේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x