රියාද් ගුවන්තොටුපොළට යළිත් ප්‍රහාරයක්
1 min read
සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් අදත් (12) ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි බලධාරීන් සඳහන් කර ඇත්තේ, ගුවන්තොටුපොළේ සිව්වන පර්යන්තය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූ බවය.
මේ හේතුවෙන් එහි ගින්නක් ද හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඊයේ (11) දිනයේදී ද මෙම ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබීය.
මේ අතර, රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ කෲස් මිසයිලයක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර ඇති බව යේමනයේ ක්‍රියාත්මක සෞදි ප්‍රමුඛ සන්ධාන හමුදා පවසයි.
එමෙන්ම, සෞදි අරාබියේ නැගෙනහිර පළාතට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් ද විනාශ කර ඇති අතර, කමිස් මුෂයිට් නගරය දෙසට එල්ල කළ බැලස්ටික් මිසයිලයක් ද සිය ආරක්ෂක පද්ධති මගින් වළක්වා ඇති බව එම හමුදා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර, අද (12) අලුයම දකුණු සෞදි අරාබියේ අබා නගරය ආශ්‍රිතව ද හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ නමුත්, පසුව එම අවදානම පහව ගොස් ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.
හූති සටන්කාමීන්ට එරෙහිව සෞදි අරාබිය ගුවන් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කරමින් සිටින පසුබිමක මෙම ප්‍රහාර එල්ල වී තිබේ.
