ආර්ථික අර්බුදය පෙර පැවැති මට්ටමට ළඟාවෙලා
1 min read
මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2027 වසර වනවිට සියයට 4.2ක් දක්වා මන්දගාමී වන බවට පුරෝකතනය කර ඇතැයි ලෝක බැංකුව ඊයේ (6 වැනිදා) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකියයුතු සන්ධිස්ථානයකට ළඟාවී ආර්ථික අර්බුදයට පෙර පැවැති මට්ටම් කරා ළඟා වී ඇති බවයි. එහෙත් යථා තත්ත්වයට පත්වීම අසම්පූර්ණ හා අසමාන මට්ටමක පවතින බවත් ගෘහස්ථ ආදායම් හා ශ්‍රම වෙළෙඳපොළ තවමත් පසුගාමී බව ලෝක බැංකු සමූහය පෙන්වා දී ඇත.
ශක්තිමත් කර්මාන්ත ක්‍රියාකාරීත්වය හා සේවා අංශයේ ස්ථාවර වර්ධනය හේතුවෙන් මීට ඉහතදී කර තිබූ පුරෝකතනයන් ඉක්මවා යමින් මෙම වර්ෂයේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.4කින් වර්ධනය වනු ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත් ඵලදායිතාව දුර්වල වීම හේතුවෙන් 2027 වසර වනවිට එම අගය සියයට 4.2 දක්වා මන්දගාමී වනු ඇති බවට පුරෝකතනය කර ඇත.
මෑත මාසවලදී උද්ධමනය ඉහළ ගොස් ඇති බවත් එය ඉහළ යන බලශක්ති සහ ආහාර මිල ගණන් හේතුවෙන් දරිද්‍රතාවය අර්බුදයට පෙර පැවැති මට්ටම්වලට වඩා 16.9% ක් ලෙස පවතින බවද ලෝක බැංකුව සිය වාර්තාවේ සඳහන් කර ඇත.
මෙරට යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයේ වියදම් ඉවත් කර වඩා හොඳ යටිතල පහසුකම්, ආයෝජන සඳහා ස්ථාවර පරිසරයක් සහ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රවලට පෞද්ගලික අංශයේ සහභාගීත්වය වැඩිකිරීම මගින් පෞද්ගලික ආයෝජන, අපනයන හා ඵලදායිතා වර්ධනය කළ යුතු බව ද පෙන්වා දී ඇත.
ආර්ථික වර්ධනය, දරිද්‍රතාව අඩු කිරීම වෙනුවෙන් කෘෂි ව්‍යාපාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් කුඩා වතු හිමියන් සහ ග්‍රාමීය ප්‍රජාවන් සඳහා අවස්ථා පුළුල් කළ හැකි බවත් වාර්තාව මගින් පෙන්වා දී ඇත.
