ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
1 min read
එළැඹෙන සිකුරාදා (02) වන විට තම ගැටලුවලට නිසි විසඳුමක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු නොකරන්නේ නම් රට පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.
වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉන්ධන ප්‍රවාහනයට අදාළ සාධාරණ ගෙවීම් මුදලක් ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් නොලැබුණු බවත් මෙම සංගමය අවධාරණය කර සිටී.
ඉන්ධන බෙදා හැරීමේ ටැංකි රථ සඳහා අදාළ වන වත්මන් ඉන්ධන මිල සූත්‍රය සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිටීම සඳහා මෙම සංගමය සහ ලංකා ඉන්ධන ප්‍රවාහන සංගමය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග ඊයේ [28 වැනිදා] සාකච්ඡාවක් පවත්වා ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මෙම සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි මහතා පෙන්වා දුන්නේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා පස්වරුව වන විට විසඳුමක් ලබා දෙන බවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සහතික වූ බවත් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් වීමට සිදුවන බවත්ය.
පවතින තත්ත්වය හේතුවෙන් ටැංකි රථ නඩත්තුව සහ ඉන්ධන සම්බන්ධයෙන් ඉහළ පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
