September 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රාදේශීය මාර්ගවල අනතුරුදායක ස්ථාන 1000ක්

1 min read

ප්‍රාදේශීය මාර්ගවල අනතුරුදායක ස්ථාන දහසක් පමණ හඳුනාගෙන ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි. පළාත් පාලන මට්ටමින් අදාළ ප්‍රදේශවල පොලිසිය සමග එක්ව ප්‍රාදේශීය මාර්ගවල පවතින මෙම අනතුරුදායක ස්ථාන හඳුනාගෙන ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පැවසීය.

ඒ අනුව ප්‍රාදේශීය මාර්ගවල ආරක්ෂිත වැටවල් නොමැති බෑවුම් සහිත ස්ථාන, අනතුරුදායක වංගු, පටු සහ අනාරක්ෂිත පාලම්, බෝක්කු, පදික මාරු මැකී ගිය ස්ථාන සහ රාත්‍රියේ ආලෝකය නොමැති ස්ථාන මෙලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය සමයේදී මාර්ග සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් වැයකර ඇති බවත් එමගින් රථවාහන ධාවනයට පහසුවක් වූ බවත් කී සභාපතිවරයා මේ හේතුවෙන් වාහනවල වේගය වැඩිවී ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඇතිවී තිබෙන බවද අනාවරණය කළේය.

ඒ අනුව මේ වන විට මාර්ග ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බවත් ජාතික මාර්ග පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් අයවැයෙන් රුපියල් බිලියන හතරක මුදලක් වෙන්කර ඇති බවත් හෙතෙම කීවේය.

එමෙන්ම මීට සමගාමීව පළාත් පාලන ආයතන සතු මාර්ගයන්හි හඳුනාගත් අනතුරුදායක ස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන විස්ස බැගින් වෙන්කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මේ අතර ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිතව සකස් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික් මට්ටමින් පළාත් පාලන ආයතන වෙත ප්‍රතිපාදන ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය 18 වැනිදා සිදු කෙරිණි.

ජනප්‍රිය පුවත්  බැංකු සේවකයෝ සටනට බසිති!

මෙම වැඩපිළිවෙළ සඳහා රුපියල් බිලියන එකහමාරක ප්‍රතිපාදන වෙන්කර ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම සහ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ වගකීම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත පවරා තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කළ දිනයේ සිට බලාත්මක වන අතර ගිවිසුමේ සඳහන් විධිවිධාන හා කොන්දේසිවලට යටත්ව 2026 දෙසැම්බර් 31 වැනිදා දක්වා එය ක්‍රියාත්මක වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x