September 20, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“වාහන මිල බැස්සුවේ අපි”

1 min read

“වාහන මිල පල්ලම් බහී, වාහනයක් ගන්න මේ තරම් හොඳ චාන්ස් එකක් ආයෙ නෑ, සමහර වාහන ලක්ෂ 10 කින් බැහැලා” යැයි කියමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්නගේ හදිසියේම මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

ඔහු එහිදී තවදුරටත් කියා සිටියේ, “ගොඩක් වෙළෙන්දෝ මේ වෙලේ වාහන පාඩුවට දෙන්නේ… පාරිභෝගිකයන්ට මේක හොඳ අවස්ථාවක්. වෙළෙඳපොළ නැවතත් ප්‍රකෘතිමත් උනාම ලොකු ගාණකින් වැඩිවෙනවා” යනුවෙනි. එසේම වර්තමානයේ වෙළෙඳපොළේ Yaris, Raize, Vezel, Daihatsu Mira, Suzuki වැනි වාහනවල මිල ලක්ෂ 3, 4, 5 සිට 10 දක්වා අඩුවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙතරම් කාලයක් අහස උසට වාහන මිල තබාගෙන සිටි කාර් සේල් හිමියන්, හදිසියේම “පාඩුවට වාහන දෙන්නට” තරම් දානපතියන් වූයේ ඇයි? මේ පිටුපස ඇත්තේ හුදු වෙළෙඳපොළ සැපයුම සහ ඉල්ලුම මත තීරණය වූ මිල අඩුවීමක්ද? නැතහොත් වෙනත් කලබලයක්ද?

මෙම හදිසි මිල පහත හෙළීමේ සැබෑ හේතුව විමසා බැලීමේදී පැහැදිලි වන්නේ, “වාහන මිල බැස්සුවේ අපි” බවයි. එනම්, මෙරට වාහන ආනයන බදු දැලේ පවතින මහා වංචාව සහ රීකන්ඩිෂන් (Reconditioned) මුවාවෙන් සිදුවන බිලියන 120ක බදු මංකොල්ලය පිළිබඳව අප පසුගියදා කළ දැවැන්ත අනාවරණය මේ සඳහා ඍජුවම බලපා ඇති බව තර්කානුකූලව ඔප්පු වේ.

(පසුගිය ලිපියේ සබැඳිය)

හදිසි කලබලයට හේතුව: අපගේ හෙළිදරව්ව සහ රේගු ගැසට්ටුවේ මරමස්ථානය

අපගේ පෙර ලිපියෙන් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ 2016 වසරේ නිකුත් කරන ලද අංක 1971/10 දරන රේගු ගැසට් නිවේදනය හරහා කාර් සේල් හිමියන් රජයට අහිමි කරන දැවැන්ත බදු මුදලයි.

ජනප්‍රිය පුවත්  ඉදිරියේදී වෙනස් වන කාලගුණය

කර්මාන්තශාලාවෙන් පිටවන අලුත්ම (Brand-new) වාහනයක් විදේශයකදී දින කිහිපයක් පමණක් ලියාපදිංචි කර, එය ‘පාවිච්චි කළ වාහනයක්’ ලෙස ලංකාවට ගෙන ඒමෙන් අදාළ වටිනාකමෙන් 15% ක ක්‍ෂයවීමක් ලබා ගැනීමට මොවුහු කටයුතු කරති.

උදාහරණයක් ලෙස ඩොලර් 50,000 ක වාහනයක් ගෙන්වීමේදී නිල නියෝජිතයා සම්පූර්ණ මුදලට බදු ගෙවද්දී, මේ හොර පාරෙන් එන වාහනයට බදු වදින්නේ ඩොලර් 42,500 කට පමණි. මේ මහා ආදායම් කාන්දුව නිසා 2026 වසරේ පමණක් රජයට අහිමි වන ආදායම රුපියල් බිලියන 120 ක් බවට ගණනය කර තිබිණි. අපගේ මෙම අනාවරණයත් සමග සමාජය තුළත්, දේශපාලන තලයේත් විශාල කතිකාවතක් නිර්මාණය වූ අතර, මුදල් කාරක සභාවේ (COPF) අවධානය පවා මීට යොමු විය.

මේ වනවිට රේගුවේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ඇතිව සිදුවන මෙම ජාවාරම පිළිබඳ රාවයක් සමාජයේ වේගයෙන් පැතිර යමින් පවතී. Audi A5 රථ 13ක් 1400 CC එන්ජින් ඇති බවට රේගුවට පවසා මිලියන 160ක බදු වංචා කිරීමට ගිය උත්සාහය නිල නියෝජිතයන්ගේ මැදිහත්වීමෙන් හෙළිවීම හරහා රේගුවේ සිදුර කොතරම් විශාලද යන්න තහවුරු විය. අපගේ මෙම හෙළිදරව්වත් සමග, රජයට සහ රේගුවට මෙම නෛතික හිඩැස වසා දැමීමට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. 1971/10 ගැසට්ටුව ඕනෑම මොහොතක සංශෝධනය විය හැකි බවට කාර් සේල් මාෆියාව තුළ දැඩි භීතිකාවක් හටගෙන ඇත.

ජනප්‍රිය පුවත්  හිටපු අගවිනිසුරු ගියාම කෝදාගොඩ කපලා එක්ස්ප්‍රස් පර්ල් නඩුව නැවත අහනවා...

පාඩුවට දෙනවාද? නැතිනම් හොරාකෑ ලාභයෙන් ටිකක් අතහරිනවාද?

සම්පත් මෙරින්නගේ පවසන්නේ Yaris, Raize, Vezel වැනි වාහන ලක්ෂ 3 සිට 10 දක්වා පාඩුවට විකුණන බවයි. මෙය අමූලික මුසාවකි. විචාරාත්මකව බැලූ විට පෙනී යන්නේ මෙය පාඩුවට විකිණීමක් නොව, තමන් වංචා කළ දැවැන්ත බදු මුදලින් කුඩා කොටසක් පාරිභෝගිකයාට ලබාදී, කඩිනමින් වාහන තොග විකුණා දැමීමේ උපායක් බවයි.

අපගේ දත්ත වලට අනුව Honda Vezel රථයක් ගෙන්වීමේදී නිල නියෝජිතයා රුපියල් මිලියන 3.4 ක බද්දක් ගෙවද්දී, කාර් සේල් හිමියන් ගෙවන්නේ මිලියන 1.6 කි. එනම් වාහනයකින් ඔවුන් ලබන අතිරේක බදු වාසිය රුපියල් ලක්ෂ 18 කි (මිලියන 1.8). Toyota Raize රථවලින් රජයට වූ පාඩුව බිලියන 18.7 කි. Toyota Yaris රථවලින් වූ පාඩුව බිලියන 12 කි.

සභාපති මෙරින්නගේ සඳහන් කරන “ලක්ෂ 10ක මිල අඩුවීම” මේ හා සසඳා බලන්න. ලක්ෂ 18ක බදු වංචාවක් කර, ඉන් ලක්ෂ 10ක් අඩු කර වාහනය වික්කද, කාර් සේල් හිමියා තවමත් ලක්ෂ 8ක අතිරේක ලාභයක් ලබයි! එබැවින් ඔවුන් වාහන දෙන්නේ පාඩුවට නොවේ. අපගේ හෙළිදරව්ව නිසා නීතිය ක්‍රියාත්මක වීමට පෙර, අතේ හිරවී ඇති වාහන තොග ඉක්මනින් මුදල් කරගැනීමේ ත්‍රාසජනක මෙහෙයුමක ඔවුන් නිරත වී සිටී. “වෙළෙඳපොළ නැවත ප්‍රකෘතිමත් වූ විට මිල වැඩිවේවි” යැයි සභාපතිවරයා පවසන්නේ, ඔවුන්ට හොර පාරෙන් බදු සහන ලබන ක්‍රමය නැවැත්වූ දාට, සාධාරණ බදු ගෙවා වාහන ගෙන ඒමට සිදුවන බව දන්නා නිසාය.

ජනප්‍රිය පුවත්  අපි ඇස් පියාගත්තත් හොරකම් කරන නිසා නිදාගන්නෙත් ඇස් ඇරන්...! - කඩුවෙල නගරාධිපති....

වාහන මිල හදිසියේ පහත වැටුණේ ආනයනකරුවන්ගේ හිත උණුවී හෝ ගෝලීය වෙළෙඳපොළේ වාහන මිල අඩුවූ නිසා නොවේ. බදු දැලේ මහා හිලෙන් රුපියල් බිලියන 120ක් තම සාක්කුවට දමාගන්නා ක්‍රියාවලිය අප විසින් සාක්ෂි සහිතව සමාජගත කළ බැවිනි. උණ්ඩියල් හා හවාලා ක්‍රම හරහා ජාතික ධනය පිටරට යවන මේ අඳුරු ආර්ථිකය අනාවරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් කලබල වී ඇත.

පාරිභෝගිකයන්ට මෙය වාහනයක් ගැනීමට හොඳ අවස්ථාවක් විය හැකි බව සැබෑවකි. නමුත් එම “ලාභය” යනු සාධාරණ වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයකින් ලැබුණක් නොව, මුළු රටේම සෞඛ්‍යයට, අධ්‍යාපනයට සහ යටිතල පහසුකම්වලට යෙදිය යුතු වූ දැවැන්ත බදු මුදලක් කොල්ලකෑමෙන් පසුව, ඉන් කුඩා කොටසක් පාරිභෝගිකයා දෙසට විසි කිරීමකි. සැබෑ පද්ධති වෙනසක් අවශ්‍ය නම් රජය කළ යුත්තේ කාර් සේල් හිමියන්ගේ මේ මාධ්‍ය සංදර්ශනවලට රැවටීම නොව, වහාම 1971/10 රේගු ගැසට් නිවේදනය සංශෝධනය කර ජාතික ධනය කොල්ලකෑම නැවැත්වීමයි. එතෙක්, මේ වාහන මිල බැස්සවීමේ ගෞරවය හිමිවිය යුත්තේ මේ මහා වංචාව හෙළිදරව් කළ මාධ්‍යයට මිස ජාවාරම්කරුවන්ට නොවේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x