දළදා වහන්සේ අලුත් කරඬුවකට මාරු කළා..- බෞද්ද කටයුතු කොමසාරිස්
1 min read
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටුවීම උදෙසා පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස පූජා කරන ලද පූර්ණ ස්වර්ණමය මහා කරඬුව තුළ දළදා වහන්සේ ඇතුළු පූජා වස්තූන් තැන්පත් කිරීමට පියවර ගන්නා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා අද (11) ප්‍රකාශ කළේය. පසුගිය සැප්තැම්බර් 08 වැනිදා ශ්‍රී දළදා මාලිගාවේදී පැවති විශේෂ ආගමික පුණ්‍යෝත්සවයකදී මෙම ස්වර්ණමය මහා කරඬුව පූජා කර ඇති අතර, එම අවස්ථාවට මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද සහභාගී වී තිබේ.
මෙතෙක් කලක් දළදා සමිඳුන් වැඩ සිටීම සඳහා භාවිත කරන ලද ඓතිහාසික රන් ආලේපිත කරඬුව වෙනුවට, සම්පූර්ණයෙන්ම රත්තරනින් නිමවන ලද මෙම අභිනව කරඬුව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඇතුළු පූජා ද්‍රව්‍යයන් තැන්පත් කිරීමට කටයුතු යොදා ඇති බව මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ දියවඩන නිලමේතුමන් තහවුරු කළ බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
එසේම, මෙතෙක් භාවිත කරන ලද පෞරාණික රන් ආලේපිත කරඬුවෙහි ඓතිහාසික වටිනාකම සුරක්ෂිත කරමින්, එය දළදා වහන්සේ වැඩ සිටින මාලිගාවේම සුවිශේෂී ස්ථානයක තැන්පත් කර අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත.
මෙම කටයුතු පිළිබඳව මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ සහ දියවඩන නිලමේතුමාගේ අත්සනින් යුත් නිල ලිඛිත ලේඛනයක් මඟින් තමන්ව දැනුවත් කර ඇති බවද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
