September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගායන තරු, රංගන තරු අතරට විද්‍යාඥ තරු ගෙන ගිය රටක්..

1 min read

👉 මේ ඡායාරූපයේ ඔබ දකිනුයේ වාණිජ මට්ටමින් දෙමුහුම් වී වර්ග නිපදවීම මගින් ලෝකයේ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ආහාර ප්‍රශ්න විසඳීමට පදනම සැපයූ පුරෝගාමී විද්‍යාඥයෙකු වන යුආන් ලොන්පින්ගේ දැවැන්ත රුවක් චීනයේ නගරයක ප්‍රදර්ශනය කර ඇති ආකාරයයි.

👉 අද වන විට චීනයේ ප්‍රධාන නගර ගණනාවක, ඒ රටේ විශිෂ්ට සොයාගැනීම්වලට මුල් වූ විද්‍යාඥයන්, උගතුන් සිය ගණනකගේ දැවැන්ත ජායාරූප සහ ඔවුන්ගේ වැකි මේ ආකාරයට ප්‍රදර්ශනය කෙරෙමින් තිබේ.

👉 මේ අනුව දුම්රිය ස්ථාන, උමං මාර්ග, සාප්පු සංකීර්ණ, ප්‍රධාන නගර ආදියේ මෙතෙක් වෙළෙඳ දැන්වීම් ආදියට වෙන්ව තිබූ දැවැන්ත අවකාශ (Commercial advertising spaces) තුළ අද විද්‍යාඥයන්ගේ සේයා රූ සහ වැකිවලටද විශාල ඉඩක් හිමි වී තිබේ.

👉 මේ අපූරු සංකල්පයෙන් සිදුවන්නේ සාමාන්‍යයෙන් මහමග ප්‍රචාරක පුවරුවල සුලබව දක්නට ලැබෙන නළුනිළියන්, ගායකයන්, ක්‍රීඩකයන් වැනි ජනප්‍රිය තරු (Celebrities) අතරට විද්‍යාඥයන් හා උගතුන්ද එක් කිරීමය.

👉 මෙය සෑම රටකම පාහේ පවතින ජනප්‍රිය තරු සංස්කෘතිය (Celebrity culture) සපුරා අහෝසි කිරීමක් නොව ඒ සංස්කෘතිය වඩාත් පුළුල් කරමින් තම රටේ හා මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් ඉමහත් දායකත්වයක් ලබාදුන් විද්‍යාඥ්‍යන් වැනි චරිත ද ජනප්‍රිය තරු හා ආදර්ශ ලෙස සමාජයට ඉදිරිපත් කිරීමකි.

ජනප්‍රිය පුවත්  ඩෙංගු රෝගීන් වාර්තාවීම තව දුරටත් ඉහළ ගියොත් විශ්වවිද්‍යාලවලට කරන දේ

👉 මෑතකදී මෙය ලෝකය පුරා බෙහෙවින් කතාබහට ලක් වූ කාරණයක් වුවද ඇත්තෙන්ම චීනය මෙම ප්‍රතිපත්තිය වසර කිහිපයක සිට ක්‍රියාත්මක කරමින් තිබෙන්නකි.

👉 විද්‍යාඥ අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීම නම් (Promote the Scientist Spirit) මූලික සංකල්පය යටතේ 2022 වසරේ පමණ සිට මේ ආකාරයේ ප්‍රචාරක වැඩසටහන් සංවිධානය කිරීමට චීන රජය කටයුතු කළ අතර, දේශප්‍රේමය, නවෝත්පාදනය, කැපවීම, සත්‍ය ගවේෂණය, සහයෝගීතාව, අනාගත පරපුරට අධ්‍යාපනය යන මූලික කාරණා හය එහි හරයාත්මක සංකල්ප වේ.

👉 දැවැන්ත නිෂ්පාදන ආර්ථිකයක් හිමි චීනය විසින් පසුගිය දශක පහක පමණ කාලය තුළ දසදහස් ගණනින් විද්‍යාඥයන් හා නවෝත්පාදකයන් බිහි කොට තිබේ.

👉 Chinese scientists’ mediated participation in public outreach නමින් 2024 පළ වූ පර්යේෂණ පත්‍රිකාව මගින් එවැනි තෝරාගත් විද්‍යාඥයන් 8533ක් මහජන දැනුවත් කිරීම්වලට දායක වී ඇති ආකාරය අධ්‍යයනය කොට ඇත.

👉 බුද්ධිමය ක්ෂේත්‍රයේ ඉතා අසීරු අභියෝගවලට මුහුණ දුන් දැවැන්ත චරිතවලට වඩා සරල විනෝදය ආශ්‍රිත කටයුතුවල නිරත වන නළු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රීඩකයන් ආදි අයට පොදු ජනතාව අතර, ඉහළ ජනප්‍රියත්වයක් හිමි වීම සෑම රටකම පාහේ දක්නට ලැබෙන තත්ත්වයකි.

ජනප්‍රිය පුවත්  QR පචේ කොහොමද?

👉 බොහෝ විට ඉතා අසීරු ශාස්ත්‍රීය විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජීවිත කාලයම කැප කරන අයෙකුට හෝ උපයා ගත නොහැකි ජනප්‍රියත්වයක් ක්‍රිකට් තරගයක හයේ පහරවල් කීපයක් එල්ල කරන අයෙකුට හෝ එක රැයින් ජනප්‍රිය වන ගායකයෙකුට උපයා ගැනීමේ හැකියාව තිබේ.

👉 චීනය මේ නව සංකල්පය තුළින් කර ඇත්තේ ලෝකයේ සෑම රටකම පාහේ පවතින තරු සංස්කෘතියට නව මුහුණුවරක් ලබාදෙමින් එය තම ජාතියේ ප්‍රගතිය උදෙසා ඵලදායක ලෙස යොදාගැනීමය.

👉 China puts scientists on billboards as role models. Why can’t India do the same? යන මැයෙන් රචනා වූ ලිපියක ඉන්දියාවටද මේ ප්‍රතිපත්තිය ආදේශ කළ යුතු බව එරට ලේඛකයෙකු පවසයි.

👉 ක්ෂණික තරුවල දීප්තියෙන් ඉතා පහසුවෙන් මෝහනය වන දිවා රෑ බොල් පිළිම වන්දනා කරන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය කදිම ආදර්ශයකි.

ඉසුරු ප්‍රසංග

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x