September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වසරකදී ළමුන් මිලියන 20ක් අන්තර්ජාල හරහා ලිංගික අපයෝජනයට

1 min read

රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් මිලියන 20කට ආසන්න පිරිසක් වසරක කාලයක් තුළ ඩිජිටල් අවකාශයන් හරහා ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිකුත් කළ නව වාර්තාවකින් අනාවරණය කර තිබේ.

අප්‍රිකාව, ආසියාව, ලතින් අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය ඇතුළු රටවල වයස අවුරුදු 12ත් 17ත් අතර අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වැඩි පිරිසක් පසුගිය වසර තුළ අවම වශයෙන් එක් ආකාරයක ලිංගික අපයෝජනයකට මුහුණ දී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

එහිදී ළමුන් මිලියන 15කට පමණ අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, මිලියන 9ක් ලිංගික සංවාදවලට හෝ ලිංගික ඡායාරූප හුවමාරු කිරීමට බලපෑම්වලට ලක්ව තිබේ.

තවත් ළමුන් මිලියන 4ක පමණ ලිංගික ඡායාරූප ඔවුන්ගේ අවසරයකින් තොරව බෙදාහැර ඇති බවද අනාවරණය වී ඇත.

වාර්තාවට අනුව සිදුවීම්වලින් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත්තේ Facebook, WhatsApp, Instagram, Snapchat සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහාය. අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිතව සිදුවූ සිදුවීම් ප්‍රමාණය සියයට 14ක් පමණ වේ.

ජනප්‍රිය පුවත්  ප්‍රාදේශීය සභා උප සභාපතිවරයෙක් අත්අඩංගුවට

විශේෂත්වයක් වන්නේ මෙවැනි සිදුවීම්වලින් අඩකට වැඩි ප්‍රමාණයකට ළමයා දැන සිටි පුද්ගලයෙකු සම්බන්ධ වී තිබීමයි. තවත් සියයට 38ක සිදුවීම්වලදී ළමයා පළමුව අපයෝජකයා හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාලය හරහාය.

එමෙන්ම ළමුන් සම්බන්ධ සිදුවීම්වලින් සියයට 1කටත් අඩු ප්‍රමාණයක් පොලීසියට, සමාජ සේවකයෙකුට හෝ උපකාරක සේවාවකට වාර්තා කර ඇති බවද UNICEF පවසයි.

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ලිංගික අන්තර්ගතයන් සම්බන්ධයෙන්ද වාර්තාව අවධානය යොමු කර තිබේ. දත්ත එක්රැස් කළ රටවල් 9කදී ළමුන් මිලියන 1.1ක් පමණ තමන් නිරූපණය වන කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කළ ලිංගික ඡායාරූප හෝ වීඩියෝ නිර්මාණය කර ඇති බව වාර්තා කර තිබේ.

තාක්ෂණය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වූ ළමුන් අතර සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ තමන්ටම හානි කරගැනීමේ හැසිරීම් වාර්තා වීම අනෙකුත් ළමුන්ට සාපේක්ෂව සිව් ගුණයකින් පමණ වැඩි බවද UNICEF පෙන්වා දෙයි.

මෙම පර්යේෂණය 2020 සිට 2025 දක්වා කාලය තුළ රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් 21,000කට ආසන්න පිරිසක් සම්බන්ධ කර ගනිමින් සිදුකර ඇති අතර, එය මෙවැනි ආකාරයේ සිදුකර ඇති විශාලතම අධ්‍යයනවලින් එකක් බව UNICEF සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් නිලධාරීන්ට පහරදුන් තියුණු ආයුධ සොයාගැනේ

ළමා ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, නව ආකාරයේ අපයෝජන ඇතුළත් වන පරිදි නීති යාවත්කාලීන කිරීම සහ වාර්තා කිරීමේ හා ළමා ආරක්ෂණ පද්ධති වැඩිදියුණු කරන ලෙස UNICEF රජයන්ගෙන් සහ තාක්ෂණික සමාගම්වලින් ඉල්ලා තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x