මුදල් අමාත්‍ය අනුමැතියකින් තොරව රේගුවේ කෝටි 3,726ක ත්‍යාග බෙදීමේ වංචාවක් විගණන වාර්තාවෙන් හෙළිවෙයි !
1 min read
මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව 2012 සිට 2025 දක්වා වසර 14ක කාලය තුළ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට රුපියල් කෝටි 3,726ක ත්‍යාග මුදල් ගෙවා ඇති බව රේගුවේ 2025 වාර්ෂික විගණන වාර්තාවෙන් හෙළිව තිබේ.
විමර්ශනවලට සම්බන්ධ නොවන අංශවලට ද රුපියල් කෝටි 65කට ආසන්න මුදලක් මෙලෙස බෙදා හැර ඇත. මීට අමතරව, පැමිණීම තහවුරු නොකර රුපියල් කෝටි 143ක අතිකාල දීමනා, රුපියල් කෝටි 10ක නැව් බඩු පරීක්ෂණ ගාස්තු සහ රුපියල් එක්කෝටි විසි නව ලක්ෂයකට වැඩි තොරතුරු තාක්ෂණ ගාස්තු ගෙවා ඇති බව එම විගණන වාර්තාවේ සඳහන්.
තවද, බදු පැහැර හැරීම් විමර්ශනය කර අය කළ රුපියල් කෝටි 300ක දඩ මුදලින් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත්තේ රුපියල් කෝටි 90ක් පමණක් වීමෙන් රජයට රුපියල් කෝටි 166කට වැඩි බදු ආදායමක් අහිමි වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් රේගු ප්‍රධානියකු ප්‍රකාශ කළේ නව පරිපාලනය යටතේ මෙම අක්‍රමිකතා අවම කිරීමට පියවර ගනිමින් සිටින බවයි.
