ලංකා කිරි ගොවීන්ට ඉන්දියාවේ පුහුණුවක්
1 min read
ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට ඉන්දියාවේ පුහුණුවක් ලබාදීමට තීරණය වී තිබේ.
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකය.
කිරි කර්මාන්තය ගැන පුහුණුව ලබන ගොවීහු 19ක් ලබන 16 වෙනිදා ඉන්දියාව බලා පිටත් වෙති.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මකය.
ඉන්දියාවේ පුහුණුවට යන කිරි ගොවීහු කෘෂිකර්ම අමාත්‍යංශයේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා හමු වූහ. මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම පිරිස තෝරාගෙන තිබේ.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (National Dairy Development Board – NDDB) මූලික කර ගනිමින් මෙම පුහුණු වැඩසටහන පැවැත්වේ. මෙහිදී ලොව කිරි පිරි සැකසුම් ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ‘අමුල්’ (Amul – GCMMF) සමාගමේ නිෂ්පාදන හා පාලන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ද ශ්‍රී ලාංකික කිරි ගොවීන්ටඅවස්ථාවක් හිමි වේ.
තාක්ෂණය ඔස්සේ දෛනික කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කිරි නිෂ්පාදනවල අගය දාම සංවර්ධනය, කිරි ගොවිපළ යාන්ත්‍රීකරණය, දෙනුන් රෝග වලින් ආරක්ෂා කර ගැනීම සහ ගුණාත්මක පෝෂණ සත්කාර ලබා දීම වැනි ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණයි.
