ලංකාවේ කිරි ගොවීන්ට ඉන්දියාවේ අමුල් සමාගමෙන් විශේෂ පුහුණුවක් දෙනවා…- නාමල් කරුණාරත්න
1 min read
ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීමේ අරමුණින්, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලාංකික කිරි ගොවීන් වෙනුවෙන් විශේෂ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා සිදුකරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරී පත් වූ ගොවීන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මෙම මස 16 වන දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර, පිටත්ව යාමට පෙර ඔවුහු කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.
වසර 20 කට ආසන්න කාලයකට පසුව නැවත ආරම්භ කරන ලද මෙම පුහුණු වැඩසටහනේ පළමු අදියර යටතේ පසුගිය දෙසැම්බර් මාසයේදී ද ගොවීන් 19 දෙනෙකුට ඉන්දියාවේදී පුහුණුව ලබා දී ඇති අතර, ඉදිරියේදීත් තවත් කණ්ඩායම් කිහිපයකට මෙම අවස්ථාව ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එකඟතාව පළ කර ඇත.
මෙම විශේෂ පුහුණුව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) මූලික කරගනිමින් පැවැත්වෙන අතර, එහිදී ලොව දැවැන්තම කිරි පිරිසැකසුම් ආයතනයක් වන ‘අමුල්’ (Amul) සමාගමේ නිෂ්පාදන, තාක්ෂණික හා පාලන ක්‍රියාවලිය සෘජුවම නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලාංකික ගොවීන්ට අවස්ථාව හිමිවේ. නවීන තාක්ෂණය ඔස්සේ දෛනික කිරි අස්වැන්න වැඩි කරගැනීම, අගය දාම සංවර්ධනය, කිරි ගොවිපළ යාන්ත්‍රීකරණය, ගව රෝග පාලනය සහ ගුණාත්මක පෝෂණ සත්කාර පිළිබඳ ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, මෙම පුහුණුවෙන් ලබාගන්නා අත්දැකීම් සහ නව තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් තම ප්‍රදේශවල අනෙකුත් ගොවීන් ද දැනුවත් කර දේශීය කිරි නිෂ්පාදනය සක්‍රීයව ඉහළ නැංවීමට මෙම ගොවීන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) එච්.ඒ.ඒ.එස්. පියසිරි මහතා, අධ්‍යක්ෂ (පශු සම්පත්) යූ.එස්. ගුණරත්න මහත්මිය ඇතුළු පශු සම්පත් අංශයේ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.
