රජීව්ට පහර දෙනු ! ජනපති අණ කරයි !
1 min read
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 29 වැනි සභාපති ලෙස තේරී පත්ව ක්‍රියාකරන නීතිඥ රජිව් අමරසූරියට ඉලක්ක කර විවේචන ගොඩනඟන ලෙස ජනාධිපති අනුර කුමාර ඊයේ (24) රාත්‍රී පැලවත්තේ දී පැවති තම පක්‍ෂයට සමීප නීතිඥවරු පිරිසක් හමුවේ දී නියෝග කර තිබේ. ඊයේ (24) ඊට පෙර පැවැති පක්ෂයේ ඉහළ ප්‍රධානින්ගේ සාකච්ඡාවෙන් පසු මෙම නීතීඥ හමුව සිදුව තිබේ.
එහිදී ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කර ඇත්තේ, ජනමතවිචාරණයකට යාමට සිදුවුවත්, මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන බවය. විපක්ෂයේ දඟලන පිරිස හිරේ දැමීමට සූරසේන හැර සුදුසු අන් කිසිවකු මේ විනිසුරුවන් අතර නොවන බව ද ඔහු එහි දී පෙන්වා දී ඇත.
නීතිඥ සංගමයේ ශබ්දය මර්දනය කළහොත්, මේ ගැන තිබෙන සමාජ සංවාදය බිඳ වැටෙනු ඇති බවත්, එබැවින් එම සංගමයේ සභාපති ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
නීතීඥයන් ගැන තිබෙන පොදු සමාජ මතය යහපත් තත්ත්වයේ නොපවතින බැවින්, එම තත්ත්වය වාසියට යොදාගෙන ජනමතවිචාරණයකින් වුව ජයගත හැකියැයි ද ජනාධිපතිවරයා පවසා ඇත. එහිදී අදාළ හමුවට සහභාගි වී සිටි නීතිඥයන් දෙදෙනකු පමණක් එම අදහස නිවැරදි නොවන බව පෙන්වා දී තිබේ.
රජිව් අමරසූරිය මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ධූරය දරා ඇති බවත්, මේ වන විට ඔහු එම සංගමයේ සභාපති ධූරයට පත්ව ඇත්තේ නිතරඟයෙන් ය. සිවිල් නීති ක්ෂේත්‍ර රැසක අභියාචනාධිකරණ මට්ටමින් කටයුතු කරන ප්‍රමුඛ පෙලේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන රජිව් අමරසූරිය ඉලක්ක කර අසිත නිරෝෂණ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ දී චෝදනා නැගුවේ ද ජනාධිපතිවරයාගේ උසිගැන්වීම අනුව ය.
මේ අතර මේ මස 29 වැනි දා (පෝය දිනය) පෙ.ව. 11.00 ට පැවැත්වෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගත යුතු බව ද මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.
අපගේ සමීප ආරංචි මාර්ග පවසන අන්දමට, මෙම තොරතුරු කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ද නීතිඥ රජිව් අමරසූරිය වෙත දන්වා ඇත.
- උවිඳු බමුණුසිංහ
