July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මී උණ අවදානම ඉහළට

1 min read

සමාජයේ ‘මී උණ’ ලෙස හඳුන්වන Leptospirosis රෝගය ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වන බෝවන රෝග අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර, එයින් සිදුවන මරණ සංඛ්‍යාවද සාපේක්ෂව ඉහළ බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ භාණ්ඩාගාරික එම්.ඒ.සී. ප්‍රසාත් මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කළේ, මීයන්ගේ මූත්‍රවල පවතින Leptospira බැක්ටීරියාව මිනිස් ශරීරයට සමේ කුඩා සීරීම්, ඇස් හෝ ශ්ලේෂ්මල පටල හරහා ඇතුළුවීමෙන් මෙම රෝගය වැළඳෙන බවයි.

ගොවීන්, කුඹුරු හා මඩබිම් ආශ්‍රිතව සේවය කරන පිරිස්, කානු පද්ධති පිරිසිදු කරන කම්කරුවන්, ගොඩ වගාවල නියැලෙන පුද්ගලයන් මෙන්ම පුරන් වූ කුඹුරු හා වගුරුබිම් ආශ්‍රිතව ක්‍රීඩා කරන දරුවන්ද මී උණ වැළඳීමේ වැඩි අවදානමක් ඇති කණ්ඩායම් බවද ඔහු පැවසීය.

තවද දියකඩිති, නිසල ජලය රැඳී ඇති ස්ථාන සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමේදීද රෝගය වැළඳීමේ අවදානමක් පවතින බැවින් එවැනි අවස්ථාවලදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව ප්‍රසාත් මහතා පෙන්වා දුන්නේය.

මඩ සහිත පරිසරයක වැඩ කිරීමට පෙර ඩොක්සිසයික්ලීන් (Doxycycline) නැමැති මී උණ වැළැක්වීමේ ඖෂධය වෛද්‍ය උපදෙස් අනුව ලබාගැනීම ඉතා වැදගත් බවත්, එය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් නොමිලේ ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළේය. එහෙත් එම ඖෂධය වෛද්‍ය උපදෙස් අනුව නිසි මාත්‍රාවෙන් පමණක් භාවිත කළ යුතු බවද අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  පරිවර්තන කමිටුව දැම්ම හේතු හොයන්න ICC උප සභාපති ලංකාවට ඇවිත්

මී උණ සහ ඩෙංගු රෝගවල මුල් රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන වන අතර උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ ඇස්යට වේදනාව වැනි ලක්ෂණ මතුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොකර වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය රුධිර පරීක්ෂණ සිදුකර රෝගය නිවැරදිව හඳුනාගැනීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය.

මී උණ රෝග ලක්ෂණ මතුවූ විට නිවසේ සිට ස්වයං ප්‍රතිකාර කිරීම, සාම්ප්‍රදායික ඖෂධ භාවිත කිරීම හෝ කල්මැරීම ඉතා අනතුරුදායක බවත්, හැකි ඉක්මනින් රජයේ හෝ පෞද්ගලික සෞඛ්‍ය ආයතනයකට ගොස් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් ජීවිත අවදානම අවම කරගත හැකි බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x