ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
1 min read
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල සාකච්ඡා කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. TPTL සමාගම සතුව පවතින ටැංකි 61 න් කොටසක් මෙලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර, ඉදිරිපත්වන ලංසු ඇගයීමෙන් පසු අවසන් තීරණය සඳහා නැවතත් අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත යොමු කෙරෙනු ඇත.
2021 වසරේදී පිහිටුවන ලද TPTL සමාගමේ 51% ක හිමිකාරිත්වය ලංකා පෙට්‍රෝලියම් නීතිගත සංස්ථාවටත්, 49% ක හිමිකාරිත්වය ලංකා IOC සමාගමටත් හිමි වේ.
1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමෙන් ඇරඹුණු මෙම සහයෝගීතාවය පසුකාලීනව තවදුරටත් වර්ධනය වූ අතර, පසුගිය වසරේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දෙපසටම බලශක්තිය සැපයිය හැකි බහුකාර්ය නල මාර්ගයක් ඉදිකිරීමට ද ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට එළඹුණි.
මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කලාපීය බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා මෙම පෙට්‍රෝලියම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විශේෂ අවධානයක් යොමුකර ඇත.
