July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකිනවා.. – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

1 min read

කවර පාර්ශවයකින් මතු වුව ද, සියලුම ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් මාලාව පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමිනුයි එම සංගමය මෙසේ සඳහන් කර ඇත්තේ.

එසේම රැඳවුම් මධ්‍යස්ථාන තුළ සිදුවන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නීතියේ ආධිපත්‍යය පිරිහී යන බව පැහැදිලි වන බවත්, එසේම, යුක්තිය පසිඳලීම කෙරෙහි පවතින මහජන විශ්වාසයට ද එයින් සෘජු තර්ජනයක් එල්ලවන බවත්, ඔවුන් පවසයි.

සිරකරුවන්ගේ, බන්ධනාගාර නිලධාරීවරුන්ගේ සහ විශෝධන ආයතන කළමනාකරණය කිරීමේ වගකීම පැවරී ඇති අනෙකුත් සියලු දෙනාගේ ජීවිත ද ඒ හරහා අවදානමට ලක් වන බව එම නිවේදනයේ සඳහන්.

සිරකරුවන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීවරුන්ගේ ද ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම රජයේ යුතුකම වන බව ඔවුන් අවධාරණය කරයි.

එසේම, තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම පූර්වාරක්ෂණ සහ ධනාත්මක පියවර රජය ගත යුතු අතර, සෑම පුද්ගලයකුගේම ගෞරවයට සහ අයිතිවාසිකම් වලට පුර්ණ වශයෙන් ගරු කරමින් නීතියේ ආධිපත්‍යයට අනුකූලව සියලුම රැඳවුම් මධ්‍යස්ථාන කළමනාකරණය අඛණ්ඩව සිදු කරන බව රජය තහවුරු කළ යුතු වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ජනප්‍රිය පුවත්  මොඩියුලයේ වෙබ් අඩවියක නම විතරයි තිබුණේ… වෙබ් අඩවියක් තිබුණෙ නෑ! – විද්‍යා හා තාක්ෂණ ඇමති

මෙම සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණය ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානයට ලක්ව

ඇති අතර, මෙය සාධනීය පියවරක් වුවද, ඒ සම්බන්ධයෙන් මහජන විශ්වාසය තහවුරු වන්නේ අදාළ විමර්ශනය ස්වාධීනව, අපක්ෂපාතීව, විනිවිද භාවයෙන් සහ කඩිනමින් සිදු කරන්නේ නම් පමණක් බව සිහි තබා ගත යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

එනම් එම විමර්ශනය මගින් සිදුවීම් මාලාව සම්පූර්ණයෙන්ම අනාවරණය කළ යුතුවාක් මෙන්ම කිසියම් නීති විරෝධී ක්‍රියාවක් හෝ වගකීම පැහැර හැරීමක් මෙම ඛේදවාචකයට හේතු වී ඇත්දැයි යන්න එහිදී නිශ්චය කළ යුතුව ඇති බව සඳහන් වේ.

ඊට අමතරව, බන්ධනාගාර පරිපාලනයේ, ආරක්ෂාවේ හෝ අධීක්ෂණයේ යම් අඩුපාඩු තිබුණේ ද යන්න හඳුනා ගත යුතු බවත්, එපමණක් නොව, වගකීම් පැවරීමට පමණක් සීමා නොවී, අර්ථවත් ආයතනික ප්‍රතිසංස්කරණ හරහා මෙවැනි සිදුවීම් නැවත ඇති වීම වැළැක්වීම අරමුණු කරගත් නිර්දේශ ද එම කමිටුව ඉදිරිපත් කළ යුතු බවත්, එම සංගමය සඳහන් කර තිබේ.

ජනප්‍රිය පුවත්  මෙරට ජනතාවගෙන් 84%ක් ඇස් දන්දීමට කැමැත්ත පළකරයි

යුක්තියේ හෝ ජාතික ආරක්ෂාවේ අවශ්‍යතා සඳහා පැනවිය හැකි සීමාවන්ට පමණක් යටත්ව, මෙම විමර්ශනයේ සොයා ගැනීම් ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත්, අපරාධමය හැසිරීමක හෝ රාජකාරිමය විෂමාචාරයක නිරත වී ඇති බවට තහවුරු වන කවර හෝ පුද්ගලයකු නීතියට අනුකූලව ඊට වගකිව යුතු බවත්, එම නිවේදනයේ සඳහන් වේ.

එසේම එම පුද්ගලයා සිරකරුවකු, බන්ධනාගාර නිලධාරිවරයකු හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් වුවද, ඔවුන්ට නිසි නීතිමය ක්‍රියාවලියකට මුහුණ දීමේ අවස්ථාව ලබා දිය යුතුයි බවටයි සඳහන් කර ඇත්තේ.

මෙම ඛේදවාචකය හුදෙකලා සිදුවීමක් ලෙස නොසැලකිය යුතු අතර ඒ වෙනුවට, මෙය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය සහ සමස්ථ අපරාධ යුක්ති පරිපාලනය තුළ දිගු කලක් තිස්සේ පවතින ව්‍යුහාත්මක දුර්වලතාවයන්හි ප්‍රතිඵලයක් බවට පෙන්වා දිය යුතු බව ඔවුන් සඳහන් කර තිබේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් විශ්වසනීය සහ විනිවිද භාවයෙන් යුත් විමර්ශනයක් තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

එසේම, ඊට වගකිව යුතු සියලු දෙනා නීතියට අනුකූලව වගකීමට බැඳිය යුතු බව ද අවධාරණය කර සිටි.

ජනප්‍රිය පුවත්  චමින්ද කුලරත්න නඩුව පාරාවළල්ලක් වෙයි! නීතිපති කතානායක වෙනුවෙන් පෙනී නොසිටියි!

ඊට අමතරව, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධති සඳහා අර්ථවත් මෙන්ම කල්පවත්නා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස මෙම ඛේදවාචකය සලකන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x