July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඡන්ද : අන්දන ඇන්දිල්ල

1 min read

“එනපොට හොඳ නෑ කෙල්ල ගෙට ගනින්” යැයි පැරැන්නෝ කීවේ, වෙන්න යන නරක දේ වැලැක්වීමට කලින් පියවර ගතයුතු බව කියන්නට ය. දැන් වෙමින් පවතින්නේ “එනපොට හොඳ නැති” දේවල් ය. මෙහිලා අපගේ අවධානය යොමුවන්නේ ගොඩක් දේවල් අතරින් දේවල් දෙකක් ගැනය. ඒ, ආණ්ඩුව එකවර ගනිමින් තිබෙන තීරණ 2 ක් ගැනය.

පළමු තීරණය වන්නේ, මැතිවරණයක දී ඡන්දය ලබාදීම සනාථ කිරීම පිණිස මෙතෙක් පැවති ඇඟිලි සළකුණු කිරීමේ ක්‍රමය නතර කිරීම ය. ආණ්ඩුව එහිදී ප්‍රධාන වශයෙන් හුවා දක්වන්නේ, ඒ සඳහා යන වියදම ඉතිරිකර ගැනීම ය.

ඒ සමගම එන අනෙක් තීරණය වන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල සිටම ඡන්දය ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම ය. මේ දෙක එකට ගෙන සලකා බලනවිට පෙනෙන්නේ එතරම් හොඳ කතාවක් නොවේය.

පළමු තීරණය වන, ඡන්දය ලබාදුන් බව සනාථ කිරීම පිණිස ඇඟිල්ල පාට කිරීම අවශ්‍ය නොවන්නේ කුමක් සඳහා ද? ආණ්ඩුව කියන්නේ හැඳුනුම්පත දැන් බලන නිසා කොහොමටත් එක් අයකුට එක තැනකට වඩා ඡන්දය දිය නොහැකි බවය.

ඒ කතාව අප මදක් පසෙකින් තබා ඊළඟට යා යුත්තේ දෙවැනි තීරණය සලකා බැලීමට ය. ඒ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එම රට තුළම සිට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව සලසා දීමය.

මේක බැලූ බැල්මට හොඳය. එහෙත් හොඳ පෙනුම ඇතුලේ තියෙන්නේ නරක හරයක් ය. ඒ ගැන අප එසේ කියන්නේ අපට කලින් මෙබඳු තීරණ ගත් රටවල අත්දැකීම් ද සලකා බලාය.

ආණ්ඩුව ඇගිල්ලේ තින්ත පාට ගාන එක නවත්තන්නට යන්නේ එයට යන වැය බර ගැන ද සලකාය. එහෙත්, විදෙස්ගත ලාංකිකයන්ට ඡන්දය ලබාදීම පිණිස යන්නේ සුළුපටු වැය බරක් නොවේය. විදෙස් තානාපති කාර්යාල හරහා ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය සහ ආරක්‍ෂාව සැලසීම වැනි කටයුතු සඳහා දැවැන්ත මූල්‍ය පිරිවැයක් දරන්නට සිදුවීම වැලැකිය නොහැකිය. බංකොලොත්භාවයේ පතුලේ සිටින රටකට එය දැරිය හැකිවේද ?

ජනප්‍රිය පුවත්  ධම්මිකගේ කරල පැහේ! ජනාධිපතිගේ ''හුණ්ඩු" මොලේ!

බොහෝ රටවල ඇති අනෙක් අත්දැකීමනම් විශාල පිරිවැයක් දරා ඡන්දය ලබාදීමට අවස්ථාව සලසා දුන්න ද ඒ සඳහා විදෙස් ගත ස්වදේශිකයන්ගේ ඇති අඩු උනන්දුව ය. ඒ රටවල ඔය කියන ඡන්ද දිනය නිවාඩු දිනයක් ද නොවිය හැකිය. නිවාඩු දිනයක් වුව ඒ දිනය ඡන්දය දැමීමට කැප කරනවාට වඩා ප්‍රමුඛ වෙනත් දේ මේ අයට තිබිය හැකිය.

විශාල පිරිවැයක් දරා අඩු පිරිසක් ඡන්දය ඵළ කරන ලදහොත්, මේ තීරණයේ ඇති ඵලදායිතාවය අඩු වන්නේ ය. එය එසේ නොවුනු ඇතැයි කාටනම් කිව හැකිවේ ද?

රටෙන් පිටත සිදුවන ඡන්ද වීමසීම් ස්වාධීන දේශීය මැතිවරණ නිරීක්ෂකයන්ට සෘජුව නිරීක්‍ෂණය කළ හැකි වේ ද? තැපැල් හෝ ඉලෙක්ට්‍රොනික (e-voting) ක්‍රමවලදී ඡන්දය වෙනස් කිරීම් හෝ වංචා සිදුවීමේ අවදානම වැඩි නොවේයැයි සහතික විය හැක්කේ කාටද? එමගින් ප්‍රතිඵලය ගැන ඇතිවන ජනතා අවිශ්වාසය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ පැවැත්මට හිතකර වනු ඇද්ද?

අනෙක් අතට බොහෝ විට මෙහිදී ඡන්ද මධ්‍යස්ථානය වන්නේ අදාල රටේ තානාපති කාර්යාලය ය. තානාපති කාර්යාල නිලධාරින් පාලක පක්ෂයට පක්ෂපාතීව ක්‍රියා කරන බව දැනටමත් මෙම ක්‍රමය ක්‍රියාත්මක රටවල ඇති ප්‍රධාන විවේචනයක් ය. එය බිඳ දමන්නේ මැතිවරණ සාධාරණත්වය පිළිබඳ විශ්වාසය ය.

මේ ඡන්දදායකයා ජිවත්වන්නේ තමා උපන් රටෙන් ඈත්වය. ඔහු හෝ ඇය, රට ගැන තොරතුරු කියවා ගන්නේ බොහෝ විට සමාජ මාධ්‍ය හරහා ය. ඒ මගින් සාවද්‍ය පින්තූර මැවීම කිසිසේත්ම අසීරු නැත. එබැවින් එම ඡන්දදායකයා ඡන්දය දෙන්නේ නියම යථාර්ථය වටහා නොගෙනය.

ඊළඟ ප්‍රශ්නය වන්නේ සත්කාරක රටවල් තුළ සිටින ඩයස්පෝරා කණ්ඩායම්, එම රටවල දේශපාලන වටපිටාවට අනුව හැඩ ගැසී තම මව්රටේ අභ්‍යන්තර දේශපාලන ස්ථාවරත්වයට හානි වන අයුරින් ඡන්දය භාවිත කිරීමට පෙළඹීමේ අවදානම ය. ලංකාව සම්බන්ධයෙන් ඒ අවදානම අන් කවර රටකටත් වඩා වැඩිය.

ජනප්‍රිය පුවත්  ගරු ලොල්ලනායකුමනි, රෙදි ඉල්ලේ!

මේ ගැන තේරුම්ගන්න ඔබ ආපසු යා යුත්තේ 2005 ජනාධිපතිවරණයට ය. එදා මහින්ද දින්නේ වැඩි ඡන්ද 180,786 කින් ය. මහින්ද මුලු ඡන්ද වලින් 50.29% ක් ගන්න විට රනිල් ලබාගෙන තිබුණේ 48.43% ක් ය. මේ ඡන්දයේ දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය හිමිව තිබුනේනම්, ප්‍රතිඵලය අනෙක් පැත්තට හැරීම බොහෝ විට විය හැකිව තිබුණා ය. එය එසේ වූවේනම්, අද කොටි අවි බලය නැති සාමකාමී රටක් අපට හිමිවනු ඇත්ද?

ඉක්වදෝරය අපට කලින් මේ වැඩේට බැස්සේ ය. ඔවුන් හඳුන්වාදුන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමයක් ය. 2023 පැවැති මැතිවරණයේ දී ඔවුන්ගේ ඩිජිටල් පද්ධතියේ ඇතිවූ බරපතල තාක්ෂණික දෝෂ සහ සයිබර් ප්‍රහාර හේතුවෙන් විදේශගතව සිට ඡන්දය ප්‍රකාශ කළ දහස් ගණනකගේ රහස්‍යභාවය හා විශ්වාසනීයත්වය බිඳවැටුණේ ය. මේ නිසා වූයේ විදේශයන්හි පැවති සමස්ථ ඡන්ද විමසීමම අවලංගු කර නැවත මැතිවරණයක් පැවැත්වීමට ය.

මෝල්ඩෝවාව යුරෝපා සංගමයට බැඳීම පිළිබඳව පැවැති වැදගත් ජනමත විචාරණයක දී බටහිර රටවල සිටින මෝල්ඩෝවා වැසියන්ට වැඩියෙන් ඡන්ද මධ්‍යස්ථාන හිමි වුවත්, රුසියාව දුන්නේ මෝල්ඩෝවා වැසියන්ට ඡන්ද මධ්‍යස්ථාන 2 ක් පමණක්ම ය. අන්තිමේ දී විදෙස්ගත ඡන්ද නිසාම මෝල්ඩෝවාව යුරෝපා සංගමයට එකතු වුනාය. රුසියාව විසින් මෝල්ඩෝවා රජයට චෝදනා කළේ එය “අසාධාරණ හා පක්ෂග්‍රාහී” ඡන්දයක් කියාය. අවසානයේ රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුද ද, බෝම්බ තර්ජන වැනි ආරක්ෂක තර්ජන ද මේ නිසා නිර්මාණය වුණාය.

අප්‍රිකාවේ බොට්වානා රට ද විශාල පිරිවැයක් දරා මේ අවස්ථාව තම විදේශගත රටවැසියන්ට ලබාදුන්නේ ය. අන්තිමේ දී වුනේ ඉතා සුළු පිරිසක් පමණක් ඡන්දයට සහභාගිවීම ය. ජාතික ධනය නාස්තිකිරීමක් ලෙස එරට ජනතාව එම තීරණය ගත් පාලනයට චෝදනා කළේ ඉන් පසුව ය.

පිලිපීනය මේ අවස්ථාව තම විදෙස්ගත රටවැසියන්ට සලසාදුන්නේ 2004 දී ය. ඒ අනුව පැවැති මුල්ම මැතිවරණයේදීම විදේශයන් සිටගෙන ආ ඡන්ද පත්‍රිකා ගණන් කිරීමේ දී හා ප්‍රවාහනයේ දී බරපතළ වංචා සහ දේශපාලන මැදිහත්වීම් සිදු වූ බව හතර වටෙන්ම එල්ල වූයේ චෝදනාවන් ය. අන්තිමේ දී 2007 මැතිවරණයේ දී විදෙස්ගත පිලිපීන වැසියන් මැතිවරණ ක්‍රමය කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පහළටම වැටුණේ ය.

ජනප්‍රිය පුවත්  උන්ටම ගිය රට !

යුක්‍රේනය ද මේ සඳහා පහසුකම් සැලසුව රටක් ය. විවිධ හේතු මත 2019 ජනාධිපතිවරණයේ දී විදෙස්ගත යුක්‍රේන වැසියන්ගෙන් ඡන්දය ලබා දී තිබුණේ 2% කටත් අඩු ප්‍රමාණයක් ය. තුර්කිය ද මේ වැඩේ කරන්නට ගොස් අනාගත් තවත් රටක් ය.

මේවා ගැන සලකා බැලීමකින් තොරව “ඔසුපැන්” යැයි කියා “වස” පෙවීමට ඉඩ දිය යුතු නැත. මේ ඉන්නා හීලෑ විපක්ෂයට මේ බව තේරෙනවාදැයි කියා තේරුම්ගැනීම ඔක්කොටම වඩා අපට අමාරුය.

ඇඟිල්ල පාට නොකිරීමත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයාට ඡන්දය ලබාදීමේ අවස්ථාව සැලසීමත් එකට එන්නේ නිකන් නොවේය. ගහ දන්නා අපට කොළ කඩා පාන්නට බැරිය. ඒත් මේ විපක්ෂය දන්නේ කුමන ගහක්දැයි කීමට අපට ද නොතේරෙන්නේ ය. කොහොම උණත් ආණ්ඩුවේ මේ උප්පරවැට්ටිය උපන්ගෙයිම ලොප් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ හිත සුව පිණිසම හේතුවනවා ඇත. එසේ නොවුනහොත් සිදුවනු ඇත්තේ පරමාධිපත්‍යබලයේ පරම අයිතිය පැලවත්තේ භුක්තියට සින්නවීමය.

කට්ටිය උඩබලාගෙන සිටියොත් වෙන්නේ ඒක මිස වෙන අන් යමක් නොවේය. එය එසේ වුවහොත් හැදෙනු ඇත්තේ අවලස්සන රටක් ය. ඒ වගේම ඒකාධිපති රටක් ය. ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සැවොම වහාම කල්පනා කළ යුත්තේ මේ ගැනය. තීරණය ගත යුත්තේ ඊට සාපේක්ෂවය. අපට කියන්නට ඇත්තේ “කාලය රන් හා සමාන” බව පමණක්ම ය !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x