July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උඩුගම්පොල හා ශානිගේ නෑදෑකම ?

1 min read

ඉතිහාසය නැවත නැවතත් සිදුවෙමින් පවතිනවා කියලා කිව්වේ ජවිපෙ අදහන කාර්ල් මාර්ක්ස්.

පාස්කු විමර්ෂන දැන් ඒ විදියට ඉතිහාසයේ ඛේදවාඡකයක් යළිත් නිර්මාණය කරමින් තිබෙනවා.

පාස්කු විමර්ෂන ආරම්භ වීම සහ ගලා යාමට ඉතිහාසයක් සහ වෙනම කතාවක් තිබෙනවා.

ඒක වෙනම සාකච්ඡා කළ යුතුයි.

මාලිමා ආණ්ඩුව දැන් පාස්කු විමර්ෂන දේශපාලන කැම්පේන් එකක් කරගෙන.

කතෝලික සභාවට එය 1948 දී ඔවුන්ට අහිමි වූ දේශපාලනික බලය නැවත ලබා ගැනීමේ ව්‍යාපෘතියක්.

ශානි අබේසේකරට එය පුද්ගලික පළිගැනීමක්.

ඔවුන් සියළුම දෙනාට එකම මෙහෙයුමකට තිබෙන්නේ විවිධ අරමුණු.

නමුත් දැන් එය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඛේදජනකම සිදුවීමක ප්‍රතිනිර්මාණයක් බවට පත්වෙමින් තිබෙනවා.

ඔබට මතකද මිලේනියම් සිටි පාවාදීම ? අනිවාර්යෙන්ම ඔබට මතක ඇති.

ඒ 2002 වසර. එවකට ශ්‍රීලනිප ආණ්ඩුව පෙරළී එජාප රජයක් පත්වුණා විතරයි.

සාමාන්‍යයෙන් ආණ්ඩු පෙරළියකදී, අදාල ආණ්ඩුවට සහය දෙන පොලිස්කාරයො, රාජ්‍ය සේවකයො උඩට එනවා සහ බලය පෙන්වනවා.

කුලසිරි උඩුගම්පොළ කියන්නේ UNP පොලිස්කාරයෙක්. ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුව කාලේ හිටියේ මුළුගැන්විලා.

ආණ්ඩු මාරු වුණ ගමන් බලවත් වුණු උඩුගම්පොළට තමන්ගේ තරම පොලීසියට සහ ශ්‍රී ලංකාකාරයොන්ට පෙන්වන්න උවමනා වුණා.

2002 ජනවාරි 2 දා කුලසිරි උඩුගම්පොළ, හමුදා බුද්ධි අංශයේ ආරක්ෂණ නිවස්නයක් වැටලුවා.

එතැන දී ඔවුන් යුද හමුදා බුද්ධි අංශයේ කැප්ටන් ශහුල් හමීඩ් නිලාම් (දිගුදුර විහිදුම් බලකා – LRRP අණදෙන) ඇතුළු හමුදා නිළදාරීන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත්තා.

ඔවුන් අත්අඩංගුවට ගන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ.

එතැන දී මේ නිවාසයේ තිබිලා අවි ආයුධ සහ එල්ටීටීඊ නිල ඇඳුම් 66ක් සොයාගන්නවා.
නාට්‍ය පටන් ගන්නේ මෙතැනින්.

වහාම කුලසිරි උඩුගම්පොළ යුද හමුදා ආරක්ෂක නිවස්නයට මාධ්‍ය ගෙන්වනවා. ෆොටො ගන්න ඉඩ දෙනවා.

තමන්ට හිතවත් පත්තරකාරයන්ට ඔහු ගොතපු කතාවක් කියනවා.

“මේ යුද හමුදා සාමාජිකයො සැලසුම් කරන්නේ එවකට අගමැති, රනිල් වික්‍රමසිංහ ඝාතනය කරන්න.

නැත්නම් මේ කොටි ඇඳුම් මොකටද යුද හමුදාවට ? මේක කුමන්ත්‍රණයක්”

ඕක තමයි උඩුගම්පොළ මාධ්‍යයට කියන කතාව.

කතාව ඇත්‍ත. ලොජිකල්.

මොකටද යුද හමුදාවට කොටි නිල ඇඳුම් ?

අනිවාර්යෙන්ම ඒවා ඇඳගෙන ගේමක් දීලා, වැඩේ කොටි පිට දාන්න නේ ? කොහොමද කුමන්ත්‍රණය ?

ගමේ බෝක්කු උඩ, කෝපි කඩ උඩ, හන්දි වල, බස් වල, කෝච්චි වල මිනිස්සුත් කතා කළා.

නිකටට අත ගහගත්තා. පුදුම වුණා.

ජනප්‍රිය පුවත්  NPP ආමගෙඩන් බයිබලයේ සඳහන් පරිදි…

මොකද මිනිස්සු දන්න පරාසය ඒක.

ඒ වනවිට ඔවුන් දිගුදුර විහිදුම් බලකාය ගැන හෝ බුද්ධි අංශ ගැන දන්නේ නැහැ.

කොටි නිල ඇඳුම් ඇදගෙන කොටි බලප්‍රදේශයට ගිහිල්ලා, කොටි නායකයන් ඝාතනය කරලා එන LRRP කණ්ඩායම ගැන සාමාන්‍ය මිනිස්සු දැනන් හිටියේ නැහැ.

ඒ ගැන දැනසිටි කුලසිරි උඩුගම්පොළ තක්කඩිකමට ඒ කතාව හංගලා, මිනිස්සුන්ගේ මනසට ගැලපෙන සිල්ලර කතාවක් නිර්මාණය කළා.

මාධ්‍ය මගින් සිල්ලර කතාව ජනගත වුණා. ඔහුට ඕන වුණේ එජාප ලොක්කන්ගෙන් ලකුණු දාගන්න.

පොලීසියට තමන්ගේ බලය පෙන්වන්න. තනිකර පුද්ගලික ප්‍රොජෙක්ට් එකක්.

නමුත් හමුදා සොල්දාදුවන් සිරගත වුණා.

පසුව මෙතන කුමන්ත්‍රණයක් නැති බව හෙළිවුණා. යුද හමුදා බුද්ධි අංශයේ සහ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් කොටි පාලන ප්‍රදේශයට ගිහින් මෙහෙයුම් කරන බව හෙළිවුණා.

ඔවුන් ‘දිගුදුර විහිදුම් බලකාය (LRRP)’ ලෙසින් හඳුන්වන බව හෙළිවුණා.

හැබැයි එතකොටත් මේ ආරක්ෂක නිවාසයේ තිබිලා කුලසිරි උඩුගම්පොළ අත්අඩංගුවට ගත්තු රහසිගත ලේඛන, ෆයිල් සියල්ල ඔහු තමන්ට හිතවත් මාධ්‍යයට සහ අන් අයට මුදා හැරලා ඉවරයි.

මොනවද ඒ ලේඛන වල තිබුණේ ?

හමුදා බුද්ධි අංශයේ ඔත්තුකරුවන්ගේ නම්.

දිගුදුර විහිදුම් බලකායේ සාමාජිකයන්ගේ නම් සහ ලිපින.

කොටි අතර ඉඳලා හමුදාවට ඔත්තු දෙන ඩබල් ඒජන්ට්ලගේ විස්තර.

මේ ෆයිල් ඔක්කොම ක්ෂණයෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන් අතට ගියා.

තමන්ගේ භූමියටම ඇවිල්ලා තමන්ගේ නායකයන් ඝාතනය කරලා යන LRRP කණ්ඩායම එක්ක ප්‍රභාකරන් හිටියේ කොහොමත් වෛරයෙන්.

මුලින්ම ඔහු හමුදාවට ඔත්තු දුන් කොටි ඔත්තුකරුන් සියල්ල ඇල්ලුවා. ඔවුන් ප්‍රසිද්ධියේ ඝාතනය කළා.

තමන් හිටපි පැත්ත පාවා දීපු ඒ මිනිස්සු, අවසානයේ තමන් විශ්වාස කරපු රජය විසින් පාවා දීමකට ලක්වෙලා , වද බන්ධන මැද මියගියා.

ඉන්පසුව කොළඹ සහ වතුකරයේ ක්‍රියාත්මක කොටි බුද්ධි අංශය ලවා LRRP කණ්ඩායම සහ හමුදා බුද්ධි අංශ සමාජිකයො එකිනෙකා දඩයම් කළා.

ඒ අතර මේජර් තුවාන් මුතාලිෆ් වගේ වීරයො හිටියා. ඔහු කොටි තුවක්කු කල්ලියෙන් මියගියේ කොළඹදීමයි.

සාමාන්‍යයෙන් යුද හමුදා බුද්ධි අංශයේ මැලේ ජාතික රණවිරුවො විශාල පිරිසක් සේවය කළා.
ඔවුන් චතුර ලෙස දමිල භාෂාව හසුරවනවා.

කැප්ටන් නිලාම් මැලේ ජාතිකයෙක්. මේජර් මුතාලිෆ් මැලේ ජාතිකයෙක්.

මිලේනියම් සිටි පාවාදීම නිසා හමුදා බුද්ධි අංශයේ 80 ක් පමණ ඝාතනය වුණා.

ඒ එදා.

ජනප්‍රිය පුවත්  යෝජිත ශ්‍රී ලාංකික දිනය හා සමූහ මිනීවලවල්

2026 අවුරුද්දේ පෙබරවාරි මාසයේ DIG ශානි අබේසේකර විසින්, යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නවා.

කුලසිරි උඩුගම්පොළ වගේම, ශානි අබේසේකර කියන්නෙත් දේශපාලනය නිසා බලවත් වූ, ආණ්ඩු මාරුව නිසා තනතුර ලැබුණු චරිතයක්.

කුලසිරි උඩුගම්පොළට වගේම ශානි අබේසේකරට බලය ලැබෙන්නේ ආණ්ඩු මාරුව නිසා.

මේජර් මුතාලිෆ්, කැප්ටන් හමීඩ් වගේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මැලේ ජාතිකයෙක්. ඔවුන් තිදෙනාම යුද හමුදා බුද්ධි අංශයේ.

කුලසිරි වගේම ශානි කරන්නේත් තමන්ගේ පුද්ගලික ව්‍යාපෘතියක්. එහි කිසිඳු ජාතික අවශ්‍යතාවයක් හෝ රැෂනල් එකක් නැහැ.

කුලසිරි උඩුගම්පොළට හිටියා වගේම ශානි අබේසේකරටත්, ඔහුට හිතවත් බත් බැල මාධ්‍ය කණ්ඩායමක් ඉන්නවා.

කුලසිරිට හිටියේ පත්තරකාරයො. ශානිට ඉන්නේ යූටියුබ්කාරයො. හැබැයි දෙගොල්ලොම කරන්නේ එකම වැඩේ. බොරු පැතිරවීම.

කුලසිරි උඩුගම්පොළ යුද හමුදා දිගුදුර මෙහෙයුම් ගැන මිනිස්සුන්ගේ තිබූ නොදැනුවත්කම භාවිතා කරලා මහා කුමන්ත්‍රණ න්‍යායක්, පට්ටපල් බොරුවක් නිර්මාණය කළා.

ශානි අබේසේකර යුද හමුදා බුද්ධි මෙහෙයුම් ගැන මිනිස්සුන්ට තිබූ නොදැනුවත්කම පාවිච්චි කරලා, පාස්කු ප්‍රහාරය ගැන පට්ටපල් බොරුවක්, කුමන්ත්‍රණ න්‍යායක් නිර්මාණය කරමින් ඉන්නවා.

අවසානයේ කුලසිරි උඩුගම්පොළගේ බොරුව හෙළිදරව් වුණා. 2003 දී එජාප රජය පරාජය වීමට මිලේනියම් සිටි පාවා දීම ප්‍රධාන හේතුවක් වුණා.

කොටින්ම ඉන්පසුවත් එජාපයට මැතිවරණයක් ජය ගැනීමට නොහැකි වීමට මිලේනියම් සිටි පාවාදීම බලපෑවා.

අද රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයාගෙන් ඇහුවොත්, අනිවාර්යෙන්ම ඔහු කුලසිරි උඩුගම්පොළගේ එදා හැසිරීම විවේචනය කරනවා. එමෙන්ම ඔහු යුද හමුදා බුද්ධි අංශය සමග හිටගන්නවා.

ඒ වගේම කාලයත් එක්ක ශානි අබේසේකරගේ කුමන්ත්‍රණ න්‍යායත් පරාජය වීමට නියමිතයි.

යුද හමුදා බුද්ධි මෙහෙයුම් ගැන, සහරාන් ලා හැන බුද්ධි අංශ 97 වරක් කළ අනතුරු ඇඟවීම් ගැන මිනිස්සු සත්‍ය දැනගැනීමට නියමිතයි.

එමෙන්ම මාලිමා ආණ්ඩුවේ කඩාවැටීමට බලපාන ප්‍රමුඛ සිදුවීම ශානි අබේසේකර සහ මේජර් ජෙනරල් සුරේෂ් සලේ වීමට නියමිතයි.

නමුත් ඊට පෙර මිලේනියම් සිටි පාවාදීම නිසා රටට, බුද්ධි අංශයට සහ හමුදාවට ගෙවීමට තිබූ මිලක් තිබුණා.

යුද හමුදා බුද්ධි අංශයේ විශාල පිරිසක් මේ පාවා දීම නිසා හෙළිවුණා. ජාතික ආරක්ෂක රහස් හෙළිවුණා.

අවසානයේ අපගේ බුද්ධි අංශයම සමතලා වුණා

2005 දී බුද්ධි අංශ නැවත ගොඩනැගීමට සලේ ලාට විශාල කාර්යභාරයක් කිරීමට වුණා.

ශානිගේ කුමන්ත්‍රණයත් දැන් ඒ තීරණාත්මක තැනට ඇවිල්ලා.

ජනප්‍රිය පුවත්  අහෝ ධනනාත්, කුමට මෙතරම් මුලාවක්!

මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ පරිගනකයේ මුර පදය දිගින් දිගටම ශානි අබේසේකර ඉල්ලා සිටිනවා.

හරියට යුද හමුදා බුද්ධි අංශයේ රහසිගත ලේඛන කුලසිරි උඩුගම්පොළ විසින් පැහැර ගත්තා වගේමයි.

සුරේෂ් සලේගේ පරිගනකය රටේ යුද හමුදා බුද්ධි අංශය හෝ වගකිව යුතු බුද්ධිමත් විමර්ශකයන් විසින් ඉතාම රහසිගතව, අදාල ප්‍රොටොකෝල්ස් අනුගමනය කරමින් ලබා ගත්තාට කිසිම ගැටළුවක් නැහැ.

නමුත් ශානි අබේසේකර ?

පුද්ගලික පළිගැනීමක ඉන්න ශානි අබේසේකර ?

තමන්ගේ මෝඩ යූටියුබ්කාරයන්ට සියළුම රහස් කියනා, නඩු වාර්තා පිටින් ලබා දෙන, හෙට උසාවියට ඉදිරිපත් කරන දේ අද මෝඩ තරිඳුලාට ලබා දෙන ශානි අබේසේකර ?

කිසිදු රහසක් තබා ගැනීමට නොදන්නා, රංජන් වැනි චරිත සමග පවා ඔහේ කියවන ශානි අබේසේකර ?
ශානි අබේසේකර හෙවත් දෙවෙනි කුලසිරි උඩුගම්පොළ ?

යම්හෙයකින් ශානි අබේසේකරට සුරේෂ් සලේගේ පරිගනකයේ මුර පදය ලැබුණහොත්, එතැන් සිට මිලේනියම් සිටි පාවාදීම නැවත ප්‍රතිනිර්මාණය විය හැකියි.

යුද හමුදා බුද්ධි අංශයේ රහස්, සාමාජිකයන්ගේ නම්, ආරක්ෂක නිවස්න, විදෙස් මෙහෙයුම්, වත්කම් සියල්ල අපිට මෝඩ තරිඳුලාගේ යූටියුබ් නාළිකා වලින් බලාගන්න පුළුවන්. (එවැනි තොරතුරු එම පරිගනකයේ ඇත්නම් හෝ ‘රිකවර්’ කළ හැකිනම්)

එතැන් සිට විදේශයන්හිදී අත්අඩංගුවට පත් වන අපේ මිනිසුන්, කොටි ඩයස්පෝරාව අතර සිටිමින් ඔත්තු දුන් ඩබල් ඒජන්ට්ලාගේ ඛේදජනක ඉරණම්, ඉස්ලාම් අන්තවාදීන් අතර සිටිමින් ඔත්තු ලබා දෙන ඩබල් ඒජන්ට්ලාටේ භයානක ඉරණම රටට බලාගත හැකිවේවි.

මෙතන පොයින්ට් එක සලේගේ පරිගනකයේ තිබෙන්නේ මොනවාද, ඒ සියල්ල ජනගත වෙනවා.

සලේගේ පරිගනකයේ තිබෙනා ඔහු ඇසු සිංදු, බැලූ චිත්‍රපට සහ ඔහුගේ බ්‍රවුසර් හිස්ට්‍රිය පවා අපිට දැකගන්න පුළුවන්.

හරියටම මිලේනියම් සිටි පාවාදීම වගේම.

සුරේෂ් සලේගේ පරිගනකය ශානි අබේසේකරට භාර දීම, හරියට සියුස් විසින් පැන්ඩෝරාට පෙට්ටිය භාර දුන්නා වගේ වැඩක්.

කාර්ල් මාක්ස් ඉතිහාසය සම්බන්ධයෙන් කියූ කතාව හරි.

ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වෙනවා, මුලදී ඛේදාන්තයක් ලෙසට. ඉන්පසුව විහිළුවක් ලෙසට.

මාලිමා ආණ්ඩුව යටතේ ශානි අබේසේකර සහ සුරේෂ් සලේ හරහා මේ විහිළුවක් ලෙසින් නිර්මාණය වෙමින් තිබෙන්නේ මිලේනියම් සිටි ඉතිහාසයමයි.

  • Sachin Rathwatte

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x