පළාත් සභා ඡන්දය උතුරට හා නැගෙනහිරට !
1 min read
ලබන වසරේ මුල් කාර්තුව (මාර්තු පමණ වන විට) තුළ උතුරු පළාත් සභා මැතිවරණය හා නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා ඉන්දියාවට සහතිකයක් දී ඇතැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාල ආරංචි මාර්ග අණාවරණය කරයි. මේ බව ඉන්දීය තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානියා විසින් උතුර සහ නැගෙනහිර ක්‍රියාත්මක දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයන්ට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
එම පළාත් දෙකේ පමණක් පළාත් සභා මැතිවරණ පවත්වා, සෙසු ජාතික දේශපාලන පක්ෂවලට වඩා වැඩි බලයක් ජාතික ජනබලවේගයට පෙන්වීමට හැකිවනු ඇතැයි ආණ්ඩුවේ තක්සේරුව වී තිබේ. උතුරේ සහ නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාව අතර, ආණ්ඩුවේ ප්‍රතිරූපය තවමත් යහපත් තත්වයේ පවතින බැවින් පළාත් සභා දෙකේම බලය ගැනීමේ ඉහළ අවස්ථාවක් තිබෙන බව ආණ්ඩුව විශ්වාස කරයි. එහෙත් ඊට සාපේක්ෂව සමගි ජන බලවේගයට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එම පළාත් දෙක තුළ කැපීපෙනෙන තත්වයක් නිර්මාණය කර ගැනීම අසීරු බවද ආණ්ඩුවේ පිළිගැනීම වී ඇත.
ඒ අනුව යම්හෙයකින් එම පළාත් දෙකේ බලය පිහිටුවීමට නොහැකි වුවත්, ප්‍රධාන විපක්ෂය බවට පත්විය හැකිය යන කරුණ ද මෙහි දී ආණ්ඩුව සලකා බලා තිබේ. මෙම කරුණු මත උතුරේ සහ නැගෙනහිර පළාතේ පමණක් පළාත් සභා ඡන්දය පැවැත්වීමටත්, එම පළාත් සභා දෙකේ බලය පිහිටුවන කණ්ඩායම සමඟ නොගැටෙන ආණ්ඩුකාරවරයෙකු ජනාධිපතිවරයා විසින් පත්කිරීමටත් ජනාධිපතිවරයා ඉන්දියානු තානාපති බලධාරින්ට සහතික වී ඇත.
අන්ත ජාතිවාදී හා බෙදුම්වාදී කණ්ඩායම් වෙත බලය හිමිවන තත්වයක් යටතේ, ඔවුන් ගෙන එන හානිකර සෑම ප්‍රඥාප්තියකටම අනුමැතිය ලබා දෙන ආණ්ඩුකාරවරයකු පත්කිරීම මගින් උතුර හා නැගෙනහිර පළාත් වෙනම දේශපාලන ගැටුමකට මධ්‍යම රජය සමඟ යොමු වීම වැලකිය නොහැකි වනු ඇතැයි මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විද්වතුන් පවසති.
- කපිල එම් වඩුගේ –
