June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සමාජ මාධ්‍ය උමතුවෙන් ඩිජිටල් එල්ලුම්ගහට

1 min read

කෙනෙකුට යම් චෝදනාවක් එල්ල වූ සැණින්, අධිකරණයකින් වරදකරු වීමටත් පෙර සමාජය විසින් ඒ පුද්ගලයා ‘ඩිජිටල් එල්ලුම්ගහට’ යැවීමේ ප්‍රවණතාව වර්තමාන සමාජ මාධ්‍ය සංස්කෘතිය තුළ බරපතළ ව්‍යසනයක් බවට පත්ව ඇත. කවියන්, සාහිත්‍යකරුවන් හා වෙනත් කලාකරුවන්, උගතුන් ආදීන් පමණක් නොව ඇතැම් නීති වෘත්තිකයින් පවා පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති චෝදනාව හමුවේ ක්‍රියාත්මක වන ආකාරය ඊට හොඳ නිදසුනකි.

‘නීතිය ඉදිරියේ වරදකරු වන තෙක් ඕනෑම අයෙකු නිර්දෝෂී පුද්ගලයෙකි’ (Presumption of Innocence) යන ශිෂ්ට සම්පන්න නීතිමය මූලධර්මය අද වන විට සමාජ මාධ්‍යවල ‘ලයික්’ සහ ‘ෂෙයාර්’ හමුවේ දියවී ගොස් තිබේ.

බටහිර මනෝවිද්‍යාවට අනුව, කෙනෙකු මෙලෙස සොයාබැලීමකින් තොරව චූදිතයන්ට අපහාස කිරීමට පෙළඹෙන්නේ මනෝවිද්‍යාත්මක සාධක කිහිපයක් හේතුවෙනි.

සාධාරණ ලෝකයක් පිළිබඳ උපකල්පනය (Just-World Fallacy)

තමන් ජීවත් වන ලෝකය සුරක්ෂිත තැනක් බව පෙන්වීමට, චෝදනා ලබන පුද්ගලයා අනිවාර්යයෙන්ම වැරදිකරුවෙකු විය යුතු යැයි මිනිස් මනස ක්ෂණිකව නිගමනය කරයි.

තහවුරු කිරීමේ නැඹුරුව (Confirmation Bias)

මිනිස්සු බොහෝ විට තමන් කලින් විශ්වාස කළ දේ තහවුරු කරන තොරතුරු පමණක් බාර ගනිති. චූදිතයා කෙරෙහි පෙර පැවති අමනාපයක් හෝ අකමැත්තක් ඇත්නම්, චෝදනාව ඇසූ සැණින් එය සත්‍යයක් බව ඔවුන් වහාම පිළිගනී.

සංජානනමය පහසුව (Cognitive Laziness)

කරුණු සොයා බැලීම සහ නීතිමය ක්‍රියාවලිය දෙස බලා සිටීම මනසට වෙහෙසකි. එබැවින් සංකීර්ණ සිදුවීමකදී ‘චූදිතයා වැරදිකරුවෙකි’ යනුවෙන් ලෙහෙසියෙන් නිගමනයකට ඒමට මිනිස් මොළය වඩාත් කැමැත්තක් දක්වයි.

ජනප්‍රිය පුවත්  අහෝ ධනනාත්, කුමට මෙතරම් මුලාවක්!

කණ්ඩායම් මානසිකත්වය (Bandwagon Effect)

බහුතරයක් දෙනා යමෙකුට බණින විට, තනි පුද්ගලයෙකු ලෙස ඊට එරෙහි වීම අපහසුය. සමාජයෙන් කොන් වේ යැයි ඇති බිය නිසා බොහෝ දෙනා අන් අය කරන දේම අනුගමනය කරමින් චූදිතයාට අපහාස කිරීමට පෙළඹෙති.

මේ සඳහා බලපාන සමාජයීය සහ ජෛව විද්‍යාත්මක සාධකද තිබේ.

ව්‍යාජ සදාචාරය (Moral Superiority)

අනෙක් පුද්ගලයා වැරදිකරුවෙකු කර ඔහුට අපහාස කිරීම තුළින්, තමන් සදාචාරාත්මකව උසස් සහ යහපත් පුද්ගලයෙකු බව සමාජයට පෙන්වීමට ඇතැම් මිනිස්සු උත්සාහ කරති.

ඩොපමයින් උත්තේජනය (Dopamine Rush)

සමාජ මාධ්‍ය ඔස්සේ යමෙකුට විවේචනයක් හෝ අපහාසයක් එල්ල කර එයට ‘ලයික්ස්’ සහ ‘ෂෙයාර්ස්’ ලැබෙන විට මොළයේ ඩොපමයින් රසායනය ශ්‍රාවය වේ. මෙය පුද්ගලයාට ව්‍යාජ තෘප්තියක් ලබා දෙයි.

පීඩනය මුදා හැරීම (Scapegoating)

ඇතැම් පුද්ගලයෝ, තමන්ගේ පුද්ගලික ජීවිතයේ පවතින ආතතිය, කෝපය සහ කලකිරීම් පිට කිරීමට සමාජය විසින් ලෙහෙසියෙන් ඉලක්ක කර දෙන ‘චූදිතයා’ පාවිච්චි කරති.

ආවේගශීලී බව සහ වගකීමක් නොමැතිකම

සමාජ මාධ්‍ය තුළ තමන්ගේ අනන්‍යතාව සඟවාගෙන හෝ නීතිමය බලපෑමකින් තොරව හෝ ඕනෑම ප්‍රකාශයක් කිරීමට ඇති නිදහස නිසා සමහරු වඩාත් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙති

සමූහ උමතුව (Mob Psychology or Crowd psychology ) අද ඊයේ නිර්මාණය වූවක් නොවන බවට ලෝක සාහිත්‍යයේ කදිම උදාහරණ තිබේ.

ජනප්‍රිය පුවත්  ටිං ටිං ගේ කතා වස්තුව - අවසන් කොටස

‘ජුලියස් සීසර්’ නාට්‍යයෙහි මාර්ක් ඇන්තනීගේ සුප්‍රකට අවමංගල කතාව ඇසුරින් ශේක්ෂ්පියර් පෙන්වා දුන් පරිදි, ‘මිනිසුන් කරන වැරදි ඔවුන්ගෙන් පසුවත් ජීවත් වන අතර, ඔවුන් කරන හොඳ දේ ඇටකටු සමඟ වැළලී යයි.’

එම නාට්‍යයේම ඇන්තනීගේ කතාවෙන් පසු කුපිත වූ ජනතාව, ‘සින්නා’ නමැති කුමන්ත්‍රණකරුවා යැයි වරදවාගෙන ‘සින්නා’ නමැති අහිංසක කවියා ඝාතනය කිරීම, වර්තමාන ඩිජිටල් චරිත ඝාතනවලට කදිම උදාහරණයකි.

ආතර් මිලර්ගේ ‘ද කෲසිබල්’ මේ යථාර්ථය පහදා දෙන තවත් කදිම නාට්‍යයකි. 1692-93 කාලයේ ඇමරිකාවේ මැසචුසෙට්හි සිදුවූ ‘සලෙම් මායාකාරී දඩයම’ (Salem witch hunting) ඇසුරෙන් ලියවුණු මෙම නාට්‍යයෙන් පෙන්වන්නේ, පෞද්ගලික පළිගැනීම් සහ සමාජීය බිය (Mass Hysteria) නිසා කිසිදු සාක්කියක් නොමැතිව අහිංසක මිනිසුන් වැරදිකරුවන් කරන ආකාරයයි. අවසානයේ සමාජීය බිය නිසා විනිශ්චයකරුවෝ පවා සාක්කි නැතිවම අහිංසකයන්ට මරණ දඬුවම දෙන්නට පෙළඹෙති. එහි එන ජෝන් ප්‍රොක්ටර් නම් චරිතය, තමන් නොකළ වරදක් පිළිගෙන තමන්ගේ ‘නම සහ අභිමානය’ කෙළෙසා ගැනීමට වඩා මරණය සුදුසු යැයි තීරණය කරන්නේ සමාජයේ පවතින මෙම අන්ධභාවය නිසාය.

වර්තමාන සමූහ උන්මාදය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි බලපෑම පිළිබඳව බොහෝ දෙනා නොදන්නා කරුණක් තිබේ. එනම් වර්තමාන සමාජ මාධ්‍ය ‘ඇල්ගොරිතම’ සකසා ඇත්තේ වෛරය සහ කෝපය වේගයෙන් පැතිරෙන ආකාරයෙනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස චෝදනා ලබන පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ දරුණු සන්නිවේදන කම්පනයකට (PTSD), සමාජීය හුදකලාවකට පත් වෙති. ඇතැම් විට අවසානයේ ඔවුන් සියදිවි නසාගැනීමේ තීරණයකට වුව යොමු විය හැකිය.

ජනප්‍රිය පුවත්  අතිරික්ත පචය

චූදිතයකු පසුව අධිකරණයෙන් නිදහස් වුවද, අන්තර්ජාලය තුළ ඉතිරි වන ‘ඩිජිටල් කැළැල්’ නිසා ඔහුට හෝ ඇයට හෝ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි වේ.

තාක්ෂණය කොතරම් දියුණු වුවද, මිනිසා තවමත් ක්‍රියා කරන්නේ ප්‍රාථමික ආවේගයන් මත පදනම් වෙමිනි. ශිෂ්ට සමාජයක ලක්ෂණය විය යුත්තේ චෝදනාවක් ඇසුණු සැණින් විනිශ්චයකරුවන් වීම නොව, නීතිමය ක්‍රියාවලියට සහ සාක්කිවලට ගරු කිරීමයි.

මෙය බුදු දහමේ ඉතා පැහැදිලිව විස්තර කර තිබේ. ධම්මපදයේ ධම්මට්ඨ වග්ගයේ මෙසේ සඳහන්ය:

“න තෙන හොති ධම්මට්ඨො – යෙනත්ථං සහසා නයෙ
යො ච අත්ථං අනත්ථං ච – උභො නිච්ඡෙය්‍ය පණ්ඩිතො”

‘කරුණු විමසීමෙන් තොරව, හදිසියේ ආවේගශීලීව තීරණ ගන්නා පුද්ගලයා ධර්මයේ පිහිටියකු නොවන බවත්, නුවණැත්තා හරි වැරැද්ද විමසා බලා අපක්ෂපාතීව තීරණ ගන්නා බවත්’ මේ ගාථාවෙන් පැහැදිලි කෙරේ.

ඔබත්, චෝදනාවකට ලක්වූවෙකුට, සමාජ මාධ්‍ය තුළ කමෙන්ටුවකින් හෝ අපහාස කිරීමට පෙර, කරුණු නොදැන අහිංසක කවියකු ඝාතනය කළ රෝම වැසියෙකු හෝ සලෙම්හි මායාකාරී දඩයම්කරුවෙකු හෝ නොවීමට මේ වෙසක් දිනයේ අධිෂ්ඨාන කර ගන්න.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x