May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලොරිස් පාරේ රජයේ නිල නිවාස දුන්නේ කාටද..? | රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තොරතුරු දෙන්න බැහැ කියයි.

1 min read

කොළඹ 04, රජයට අයත් ලොරිස් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී ඇත්තේ කථානායකවරයා ඇතුළු කුමන නියෝජ්‍ය අමාත්‍යවරුන්ටදැයි විමසමින් ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලු‍ම් පත්‍රයකට තොරතුරු ලබාදීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි. මාධ්‍යවේදී රේඛා නිලු‍ක්ෂි 2025 නොවැම්බර් 20 යොමු කළ තොරතුරු ඉල්ලු‍ම් පත්‍රයට පිළිතුරු සපයමින් 2026 ජනවාරි 09 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරි හිරන්සා කළුතන්ත්‍රි එම නිවාසවල පදිංචි වී සිටින නියෝජ්‍ය ඇමතිවරුන්ගේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (2) උපවගන්තියේ විධවිධානවලට යටත්ව එහි (අ) වගන්තිය යටතට එම ඉල්ලීම අයත් නිසා බවය.

එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත 2026 පෙබරවාරි 09 අභියාචනයක්ද යොමු කර ඇති නමුත් මේ දක්වා ප්‍රතිචාරයක් නොමැත.

2025 නොවැම්බර් 18 රාජ්‍ය පරිපාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් කොළඹ 04, ලොරිස් පාරේ පිහිටා ඇති නිවාස සංකීර්ණයෙන් නියෝජ්‍ය අමාත්‍යවරුන් 06කට සහ කතානායකවරයාට කුලී පදනම මත නිලනිවාස ලබා දී ඇති බව පැවසීය. එය සනාථ කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සද ලොරිස් නිවාස සංකීර්ණයෙන් එලෙස නිවෙස් ලබා දී ඇති බව කීවේය.

ජනප්‍රිය පුවත්  මාරාන්තික උපවාසයට දින 4යි! උපවාසයේ සිටි අයෙකු අදත් රෝහල්ගත කරයි

ඒ අතර, ලොරිස් පාරේ අංක 8 -1 දරන රජයේ නිලනිවාසය, 2025 මැයි 03 සිට කථානායක අයි.ඩබ්ලිව්.එම්.ජේ. වික්‍රමරත්නට කථානායකධුරය දරන කාලසීමාව තුළ ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස් අලෝකබණ්ඩාර වෙනුවට එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජේඒඒඑන් ජයවීරගේ (නිවාස හා සංවර්ධන) අත්සන සහිතව අනුමැතිය ලබා දී ඇත.

එමෙන්ම, ලොරිස් පටුමගේ අංක 4-3 දරන රජයේ නිලනිවාසය කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ප්‍රියශංක ගාල්ලගේට 2025 මැයි 06 ලබා දී ඇති අතර එයටද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇත. එම නිවස 2030 මැයි 05 දින දක්වා හෝ කථානායකගේ පෞද්ගලික ලේකම්ධුරය දරන තෙක් ගාල්ලගේ මහතාට ලබාදී ඇත.

එසේ නිලනිවාස ලබාදෙන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 විධිවිධානවලට හා පොදු නිවාස සම්බන්ධයෙන් රජය විසින් වරින්වර පනවනු ලබන විධිවිධානයන්ට යටත්ව බව ගාල්ලගේ මහතා වෙනුවෙන් නිලනිවාසය වෙන් කිරීම සඳහා අනුමැතිය ලබා දුන් ලිපියේ සඳහන් කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x