අල්ලස් සඳහා සහය දෙන සැකකරුවන් නඩු නොපවරා නිදහස් කරන්න පනතට සංශෝධන…!
1 min read
අල්ලස් හෝ දූෂණ චෝදනාවකට සම්බන්ධ සහායක සැකකරුවෙකු, අපරාධය සම්බන්ධයෙන් තමන් දන්නා සියලු කරුණු සත්‍ය ලෙස අනාවරණය කරන්නේ නම්, ඔහුට එරෙහිව නඩු නොපවරා සිටීමට හෝ නඩු ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ලබාදෙන සංශෝධනයක් යෝජනා කර තිබේ.
මෙම සංශෝධනය ඇතුළත් වන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගය මත ප්‍රකාශයට පත් කර ඇති පනත් කෙටුම්පතටය.
යෝජිත සංශෝධන අනුව, මේ දක්වා මහාධිකරණ නඩු සම්බන්ධයෙන් පමණක් පැවති බලය පුළුල් කරමින්, මහේස්ත්‍රාත් අධිකරණවල පවරා ඇති නඩුද ඉල්ලා අස්කර ගැනීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය හිමිවේ.
එසේම, දූෂණයෙන් ලබාගත් හෝ දූෂණය හරහා වෙනත් ආකාරයකට පරිවර්තනය කළ දේපළවල වටිනාකමද අයකර ගැනීමටත්, දූෂණය මඟින් ලබාගත් පත්වීම්, වරප්‍රසාද, ප්‍රතිලාභ හෝ වෙනත් වාසි, වරදකරු බවට පත්වන දිනයේ සිට නීතිවිරෝධී ලෙස සැලකීමටත් සංශෝධන මඟින් යෝජනා කර ඇත.
මීට අමතරව, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ද ස්ථිර හෝ තාවකාලික පදනම මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අනුයුක්ත කිරීමේ ප්‍රතිපාදනද මෙම සංශෝධනවලට ඇතුළත් කර තිබේ.
